ගෝලීය වෙළෙඳපොළට තටු දුන් ප්රමිතිකරණයේ නොදුටු පැත්ත
14 October 2026 | •නිමාෂි නිසංසලා
ගෝලීය වෙළෙඳපොළට තටු දුන් ප්රමිතිකරණයේ නොදුටු පැත්ත
14 October 2026 | •නිමාෂි නිසංසලා
සමකාලීන ගෝලීයකරණය වූ ආර්ථික රටාව සහ සංකීර්ණ කාර්මික ව්යුහය දෙස බැලීමේදී එහි තිරසාර ඉදිරි ගමන හා ස්ථායීතාව තීරණය කරන ප්රධානතම උත්ප්රේරකය වන්නේ ජාත්යන්තර ප්රමිතීන්ය (International Standards). විවිධ භූගෝලීය, දේශපාලනික හා සංස්කෘතික සීමාසහිතකම් මධ්යයේ වුවද විවිධ ජාතීන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවන් කිසිදු බාධාවකින් තොරව ගෝලීය වෙළෙඳපොළ තුළ හුවමාරු වීමටනම් ඒවා සියල්ලන්ම එකඟ වූ පොදු මිනුම් දණ්ඩකට හා නීතිමය රාමුවකට යටත් විය යුතුය.
ඔක්තෝබර් 14 වැනිදාට යෙදෙන ලෝක ප්රමිතිකරණ දිනයේදී අපගේ අවධානය යොමු වන්නේ මෙම ජාත්යන්තර එකඟතාවයන් සහ ප්රමිතිකරණ ක්රියාවලිය නොමැති වුවහොත් ගෝලීය වෙළෙඳ යාන්ත්රණය මුළුමනින්ම අඩාල වන ආකාරය සහ පාරිභෝගික විශ්වාසය බිඳ වැටෙන ආකාරය පිළිබඳ විද්යාත්මක හා ප්රායෝගික විමසුමකට ය.
ජාත්යන්තර වෙළෙඳාම විෂයයෙහිලා ප්රමිතීන් ක්රියාත්මකවන්නේ වෙළෙඳාමට එරෙහිව පවතින තාක්ෂණික බාධක අවම කරන පාලමක් ලෙසිනි. උදාහරණයක් ලෙස ශ්රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් නිෂ්පාදනය කරන ඇඟලුම්, තේ හෝ වෙනත් ප්රථමික හා ද්විතීයික නිෂ්පාදන යුරෝපා සංගමය හෝ ඇමරිකා එක්සත් ජනපදය වැනි තීරණාත්මක වෙළෙඳපොළ වෙත යොමු කිරීමේදී ඒවා සෞඛ්ය, පරිසර සහ ගුණාත්මක කළමනාකරණ ප්රමිතීන්ට (උදා: ISO 9001, ISO 14001) අනුකූල විය යුතුය. මෙම ජාත්යන්තර අනුකූලතාව පැවතීම නිසා නිෂ්පාදනය පරීක්ෂා කිරීමේදී සිදුවන පිරිවැය සහ කාලය සැලකිය යුතු ලෙස අඩුවේ. එමෙන්ම විකුණුම්කරු සහ ගැනුම්කරු අතර පවතින තොරතුරු අසමමිතිය දුරු කරමින් ගෝලීය වෙළෙඳපොළ තුළ සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු තරගකාරීත්වයක් නිර්මාණය කිරීමට මෙය මහෝපකාරී වේ.
නවීන තාක්ෂණික හා සන්නිවේදන ක්ෂේත්රයේ ප්රගතිය උදෙසා ජාත්යන්තර ප්රමිතීන් ඉටුකරන භූමිකාව සුවිශේෂීය. අප දිනපතා භාවිත කරන ස්මාර්ට් ජංගම දුරකථනය, පරිගණකය හෝ WI-FI තාක්ෂණය දෙස අවධානය යොමු කිරීමෙන් මෙය මනාව පැහැදිලි වේ. ලොව කුමන රටක නිපදවුවද ඕනෑම WI-FI රවුටරයකට ඕනෑම උපාංගයක් සම්බන්ද කළ හැක්කේ IEEE සහ ITU වැනි ජාත්යන්තර ආයතන විසින් ස්ථාපිත කර ඇති පොදු ප්රමිතීන් හේතුවෙනි. තවද පොදු ආරෝපණ ප්රමිතීන් නීතිගත කිරීම මගින් පාරිභෝගික පහසුව තහවුරු වනවා මෙන්ම දැවැන්ත ගෝලීය ගැටලුවක් වන විද්යුත් අපද්රව්ය අවම කිරීමට ද හැකියාව ලැබී ඇත. සිව්වැනි කාර්මික විප්ලවයේ (4IR) මූලික අංග වන කෘතිම බුද්ධිය, Cloud Computing, Internet of Thinhs (LoT) සහ 5G තාක්ෂණයන්හි දත්ත සුරක්ෂිතතාව සහ පද්ධති අතර පවතින අන්තර් ක්රියාකාරීත්වය සහතික කෙරෙන්නේ ද මෙකී ප්රමිතීන් මගිනි.
මහා පරිමාණ කර්මාන්ත සහ නිෂ්පාදන අංශයන්හි නිෂ්පාදන ක්ෂමතාව, කාර්යක්ෂමතාව සහ සේවා ස්ථානීය ආරක්ෂාව රැඳී පවතින්නේ ද ප්රමිතිකරණය මත ය. කර්මාන්තශාලා පරිශ්රයන්හි වෘත්තිය සෞඛ්යය හා ආරක්ෂාව තහවුරු කරන ISO 45001 වැනි ප්රමිතීන් මගින් කාර්මික අනතුරු අවම කරගැනීමට මගපාදයි. මෝටර් රථ නිෂ්පාදනය, ගුවන් යානා තාක්ෂණය, රසායනික ද්රව්ය සහ ඖෂධ නිෂ්පාදනය වැනි අතිශය සංවේදී ක්ෂේත්රවලදී පියවරෙන් පියවර අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටීන් නියම කරනු ලබන්නේ ද මෙම ජාත්යන්තර රාමුව මගිනි. එමගින් නිෂ්පාදන දෝෂ අවම වන අතර පාරිභෝගිකයාගේ මෙන්ම ශ්රමිකයාගේ ද මානව ජීවිතවල සුරක්ෂිතතාව තහවුරු වේ.
ප්රමිතිකරණයේ තවත් වැදගත් සංකල්පීය පැතිකඩක් වන්නේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා ලබාදෙන දායකත්වයයි. කාබන් පියසටහන අවම කිරීම, බලශක්ති කළමනාකරණය (ISO 5001) සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්රියාවලීන් උදෙසා ජාත්යන්තර ප්රමිතීන් ලබාදෙන මාර්ගෝපදේශනය අතිමහත් ය.
මෙකී පද්ධතිමය ප්රමිතිකරණය පැවතීම හේතුවෙන් පාරිභෝගිකයා වෙත ලැබෙන භාණ්ඩයේ සෞඛ්යාරක්ෂිතභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳ නිශ්චිත සහතිකයක් ලැබේ. යම් හෙයකින් මෙම ප්රමිතිගත රාමුව බිඳ වැටුණහොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ව්යාජ සහ බාල නිෂ්පාදන සංසරණය වීම වේගවත් වන අතර එය සමස්ත පාරිභෝගික විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමට ද හේතු වේ.

