නේපාලයේ බෝටකෝෂි ගඟේ වූ දේ මහවැලියෙත් වෙයිද?
05 September 2026 | ජයසූරිය උඩුකුඹුර
නේපාලයේ බෝටකෝෂි ගඟේ වූ දේ මහවැලියෙත් වෙයිද?
05 September 2026 | ජයසූරිය උඩුකුඹුර
අකලට වට මහ වතුර කඳක් නිසා නේපාලය වැනසී ගියේ දෙසතියකට ඉහතදීය. ඒ මහ ජලකඳේ තරම පෙනුණේ බෝටකෝෂි ගඟේ සැර බාල වූ පසුවය. ගඟ දෙපස ඇතැම් තැන්වල මීටර් දෙතුන් සීයක් උසින් තිබූ ගස්ගල්, ගෙවල් අද දක්නට නැත. ඒ සියල්ල දළ රළ පෙළට හසු වී පහළට සෝදාගෙන ගොස්ය. ජල පහරට හසු වූ ඇතැමුන්ගේ මෘතදේහ හමුවූයේ කිලෝ මීටර් දෙතුන් සීයක් පහළින් ඇති ඉන්දියාවේ ගංගාවලිනි.
නේපාලයට මේ විනාශය කළේ බෝටකෝෂි ගඟ නම් ලංකාවට ඒ විනාශය කළේ මහවැලියයි. හත්අට මාසයකට පෙර මහවැලිය දිගේ ගලා ආ ජලකඳ ගම්පොළ නගරය ඇතුළු ගම් නියම්ගම් යටකර පේරාදෙණිය යකා පාලම උඩිනුත් ගියාය. ඒ අපි දෑසට දුටු මහවැලියය. එනමුත් මහවැලිය මීට වඩා මහා විනාශයක් කරනු ඇති බව දශක ගණනාවකට පෙර අනතුරු හැඟවූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය ජී. ඩබ්ලිව්. විතානගේය. මහවැලිය දිගේ ඉහළ සිට පහළට මහා ජලාශ ඉදිකිරීම ගැන ඔහු අනතුරු හැඟෙව්වේය. ඔහු පුරෝකථනය කර තිබුණේ මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති ජලාශ කාලයත් සමග අනතුරට පත් වී මහ ජලකඳක් නිර්මාණය වී විශාල ප්‍රදේශයක් ජලයෙන් යට කර ගත හැකි බවය. කොහොමත් රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ පහළින් දිවෙන මාර්ගයේ එකල සිට අනතුරු හැඟවීම් සලකුණු ප්‍රදර්ශනය කර තිබුණේය. එසේ බලන විට සුනාමිය එන්නට පෙර මේ බිමේ ජල පහරකින් බේරීමට ඉහළට දිවයන ලෙස සිහිකරමින් සංඥා පුවරු මාර්ගවල තිබී ඇත. සුනාමි නැමති ගිණිපෙලෙල්ලෙන් හොඳටම බැට කෑ අපි කණාමැදිරි එළියටත් බිය විය යුතුද. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භු විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න කියන හැටියට ඕනෑම මොහොතකදී අපි යළිදු වරක් ගිනිපෙනෙල්ලෙන් බැට කෑමට ඉඩ තිබේ. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ කඳුකර ආශ්‍රිතව නේපාලයේ මෙන් අනපේක්ෂිත ජලධාරාවන් නිර්මාණය විය හැකි බවය. එසේ වුවහොත් විශාල ප්‍රදේශයකට එමගින් අහිතකර බලපෑම් ඇති වියහැකි බවය.
"අපි මෙහෙම කියන්නෙ ජනතාව බියට පත් කරන්න නොවෙයි. අනෙක ඉතා ඉක්මනින් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකියැයි සැක සංකා ඇති කර ගත යුතුත් නෑ. නමුත් එවැනි තත්ත්වයක් ඇති විය හැකි යැයි යන හැඟීමෙන් ඒවා වළක්වා ගැනීමට පියවර ගැනීම රජයේ මෙන්ම ජනතාවගෙත් වගකීමක් වෙනවා. යැයි මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දේ. නේපාලයේ ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වීමට හේතුව ලෙස මේ වන විට අනාවරණය කර ගෙන ඇත්තේ විශාල අයිස් කන්දක් කඩා වැටී ගංඟාවක් අවහිර වී ස්වභාවිකව විශාල ජලාශයක් නිර්මාණය වී එම ජලාශයට වේගයෙන් එකතු වූ ජලය නිසා ස්වභාවිකව නිර්මාණය වූ ජලාශ වේල්ල කඩා ගෙන මහ ජලකඳ පහළට ගලා යාමය. මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් ගලා හැලෙන දිය දහරාවන් අනුව මෙවැනි තත්ත්වයක් කිසි දිනක ඇති විය නොහැකි යැයි කිසිවකුටවත් පුරෝකථනය කළ නොහැකි බවයි.
"ශ්‍රී ලංකාවෙත් මධ්‍යම කඳුකරය ආශ්‍රිතව නේපාලයේ මෙන් ගැඹුරු අගාධ තිබෙනවා. නාවලපිටිය, හැටන් ප්‍රදේශවල දක්නට තිබෙන මෙවැනි අගාධයකට මහ වර්ෂාවත් සමග විශාල පස්කන්දක් කඩා ගෙන ඇවිත් නේපාලයේ වගේම වික්ටෝරියා ජලාශය වැනි විශාල ජලාශයක් ස්වභාවිකව නිර්මාණය වෙන්න පුළුවන්. කෘත්‍රිමව හැදෙන මෙම ජලාශවල ධාරිතාව වැඩි වෙන්න වෙන්න එහි බැම්ම කඩා ගෙන එහි එකතු වූ ජල කඳ එකවරම මහ ගඟක් ලෙස ගලා ගෙන යන්න පුළුවන්. ඊට පහළ ඉන්න අයට මොකක්ද වුණේ කියල හිතාගන්නවත් ඉඩක් නැතිව ක්ෂණයකින් සියල්ල විනාශ වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් ගැන පරීක්ෂණ කරලා අධ්‍යයනය කරලා එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහායි අපි භු විද්‍යාඥයන් විදියට මේ කරුණු අනාවරණය කරන්නේ යැයිද මහාචාර්ය අතුල සෙනාරත්න පෙන්වා දෙන්නේය.
ලංකාවේ ඉදිවී ඇති විශාල ජලාශ පහක්ම නිර්මාණය වී ඇත්තේ මහවැලි ගඟ පාදක කර ගෙනය. මේ අනුව විටින් විට ඒ ජලාශවල ඉදිකර ඇති බැමි පිළිබඳවත් අවිනිශ්චිත තත්ත්වයන් ඇති බවට මත ප්‍රකාශ කර තිබිණි. කොත්මලේ ජලාශ වෙල්ලේ ජලකාන්දුවක් ඇති බවද පසු ගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබුණේය. කොත්මලෙන් පිටවන ජලය එකතු වන්නේ මහවැලියටය. ගඟ දිගේ එම ජලය වික්ටොරියා, රන්දෙණිගල, රන්ටැඹේ හරහා මොරගහකන්ද ජලාශයට යන්නේය. අනෙක් අතට පොල්ගොල්ල වේල්ලෙන් හරවන ජලය උකුවෙල, මාතලේ හරහා රජරට යන්නේය. එසේ බලන විට මහවැලි වතුර දිස්ත්‍රික්ක ගණනාවක් හරහා යන්නේය. එසේ බලන විට ජලාශයකට ප්‍රශ්නයක් ආවොත් කුමක් වෙයිද? මහාචාර්ය අතුල සෙනාරත්නට අනුව මෙම ජලාශවල බැමි අනතුරකට පත්වේයැයි කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැත. ඔවුන් මෙම බැමිවල ශක්තිය පිළිබඳ විටින් විට කර ඇකි අධ්‍යයනයට අනුව මෙම බැමි සියල්ල දියුණු තාක්ෂණයට අනුව ඉතාම ශක්තිමත්ව ඉදි කර ඇත. ඒ අනුව මෙම ජලාශවල බැමි කිසි දිනෙක කඩා ගෙන යාමක් වනු ඇතැයි කිසි විටකවත් සැකයක් ඇති කර නොගත යුතු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙයි.
"මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකර ඇති කිසිම ජලාශයක ජලාශ බැම්ම කිසි විටකත් ඒ ජලාශයේ ජල පීඩනයෙන් කඩා ගෙන යන්නෙ නෑ කියල සියයට සියයක් විශ්වාසයි. මම ඒ පිළිබඳ කර ඇති අධ්‍යයනයන් අනුව එය තහවුරු වී තිබෙනවා. නමුත් නේපාලයේ වැනි මහ වර්ෂාවට කෘත්‍රිම ජලාශ නිර්මාණය වෙලා විශාල හානියක් විය හැකි අවස්ථා අපිටත් තිබෙනවා. අතීතයේ එවැනි තත්ත්වයන් ගැන අත්දැකීම් තිබෙන බව දන්නෝ දන්නවා. මීට වසර කීපයකට පෙර වටවල ප්‍රදේශයේ රේල්පාරත් කඩා ගෙන කෝච්චියකුත් සමග විශාල පස්කන්දක් මහවැලි ගඟට වැටුණා. ගඟේ එක් කොටසක් සම්පූර්ණයෙන්ම අවහිර වුණා. නමුත් ගඟේ එක් කොටසක් විවරව තිබූ නිසා අනතුරක් නොවී අවහිර වී තිබූ පස් කන්ද ගඟට දිය වී සාමාන්‍ය පරිදි ගඟ ගලාගෙන ගියා.
ඉකුත් නොවැම්බර් මස 27 වනදා ඇති වූ දිට්වා සුළි කුණාටුව නිසා මාතලේ දිසාවේ එක් ප්‍රදේශයක පස්කන්දක් දිය වී කිලෝ මීටර් 15ක් පමණ දුරට ගලාගෙන ගොස් තිබුණා. දිට්වා නිසා මධ්‍යම කඳුකරයේ කීප තැනකම කිලෝ මීටර් හත අට දුරට නාය ගොස් තිබුණා. කිලෝ මීටර් කාලක් බාගයක් පළලට කිලෝ මීටර් පහක් හයක් දුරට නායක් ගියොත් ඊට එකතු වෙන ගස්ගල් පස් හා වෙනත් අපද්‍රව්‍යවල ඝනත්වය කොතරම්ද කියල හිතා ගන්න පුළුවන්නෙ. ඒ අාපද්‍රව්‍යට ගඟක් හරස් කරලා තාවකාලික ජලාශයක් නිර්මාණය වෙන්නෙ නෑ කියල කියන්න පුළුවන්ද? එවැනි ජලාශයකට වේගයෙන් එකතු වෙන ජලකඳ නිසා ඇති වන පීඩනය ස්වාභාවිකව නිර්මාණය වූ වේල්ලට ඔරොත්තු දෙන්නෙ නෑ. එවැනි වේලි කඩා ගෙන විශාල ජලකඳක් එකවරම නේපාලයේ වගේ ගලා යන්න පුළුවන්. යැයි පෙන්වා දෙන මහාචාර්යවරයා එවැනි ජල කඳක් එකවරම රන්දෙණිගල රන්ටැඹේ වැනි ජලාවලට එකතු වුණොත් ඇති වන පීඩනය නිසා දියුණු තාක්ෂණය අනුව ඉදිකර ඇති ඒ ජලාශ බැමිද කඩා ගෙන යාමේ අවදානමක් නෑ කියල තියන්න බෑ. යැයිද පෙන්වා දුන්නේය. මහාචාර්ය අතුල සේනාරත්න නැවැත නැවත අවධාරණය කරන්නේ ඔවුන් මේ පෙන්වා දෙන අවදානම් තත්ත්වයන් ක්ෂණිකව හෝ තවත් වසර සියයකින් අත්දැකිය නොහැකි වනු ඇති නමුත් පවතින භූගෝලිය පිහිටීම අනුව කවදා හෝ දිනක එවැනි අවදානමක් ඇති විය හැකි බැවින් දිගුකාලීන සැලැසුම් අනුව එවැනි අවදානම් තත්ත්වයන් වළකා ගත යුතු බවය.
"අපේ රටේ MBRO ආයතනය කරන සේවය කාටවත් තක්සේරු කරන්න බෑ. ඔවුන් විශාල සේවාවක් කරනවා. ඒ සේවාව නිසා මේ වන විට ඇති වූ ස්වාභාවික විපත් නිසා ජීවිත දේපළ අහිමි විය හැකිව තිබූ ප්‍රමාණය විශාල වශයෙන් අවම වී තිබෙනවා. අපි මේ පෙන්වා දෙන අනාගත අවදානම් තත්ත්වයන් වළක්වා ගන්නත්, ඔවුන්ගේ කටයුතු පුළුල් කරලා රාජ්‍ය සහය දිය යුතුව තිබෙනවා. විශේෂයෙන් ගංඟාවල නිම්න පිළිබඳ අධ්‍යයනය කරලා ඇළදොළ ඉවුරු ගැන අවධානය යොමුකරලා ඒව සංරක්ෂණය කරන ගමන් ව්‍යුහාත්මකව ඒවා සිතියම් ගත කරන වැඩපිළිවෙළක් දිර්ඝකාලීනව කළ යුතුව තිබෙනවා. යැයිද මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙන්නේය.
ඉකුත් මාස අටක කාලය තුළ දෙවතාවක් මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පහළ නිම්නයේ පදිංචි පවුල් විශාල ප්‍රමාණයකට අනපේක්ෂිත හානියක් විය. අනපේක්ෂිතව ඇති වූ මේ තත්ත්වයන් නිසා විශේෂයෙන් ගම්පොළ නගරයේ හා ඒ අවට ජනතාව තුළ ඇති වී තිබෙන භීතිය මේ දක්වාමත් නිමාවක් වී ඇති බවක් දක්නට නැත. මහවැලි ගඟට වැඩිම ජලය එකතු වන කොත්මලා ඔය හරස් කර කොත්මලේ වේල්ල ඉදිකිරීම නිසා මහවැලි ගඟ පිටාර ගැලීම අඩු වූ බව විද්‍යාඥයන් ගේ මතය වී ඇත. එසේ නමුත් නොවැම්බර් 27වනදා පේරාදෙණිය විශ්වවිද්‍යාල භුමියත් ඇතුළුව ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය හා පේරාදෙණිය නගර යටකර ගෙන මහවැලි ගඟ උතුරා යාමට හේතුව කොත්මලේ ජලාශයේ ජල කළමනාකරණය නිවැරදිව නොවීම බව පැහැදිලිය. අප මුලින් කීවා මහාචාර්ය විතානගේ මහවැලි ජලාශ සම්බන්ධයෙන් කර තිබූ පුරෝකථනයක් ගැන. ඇත්තටම එතුමා පෙන්වා දී තිබෙන්නෙත් අප දැන් මේ කියන තත්ත්වය ගැනමයි. දැනට ඔය ඉදිකර තිබෙන ජලාශවලට ඉහළින් ධාරානිපාත වර්ෂාවකට වන නාය යාමෙන් ස්වාභාවික ජලාශයක් නිර්මාණය වෙන්න පුඵවවන්. එලෙස නිර්මාණය වෙන ජලාශයට එකතුවන ටොන් බිලියන ගණනක අපද්‍රව්‍ය නිසා ඒ ජලාශය එකවර කැඩී පහළ තිබෙන කෘත්‍රිම ජලාශ යටකර ගත්තාම ඒ පීඩනය ඉදිකර තිබෙන වේලිවලට දරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ එක එක ජලාශයේ වේලිත්. කඩාගෙන ජල කඳ ගලා ගියොත් ජලයට ගොදුරු විය හැකි ප්‍රදේශවල සීමාව කාටවත් කියන්න බැරි වෙනවා. මහාචාර්ය විතානගේ පවා එදා මේ කාරණය ඉස්මතුකර පෙන්වා දී ඇත්තේ අවදානම අවම කර ගැනීමේ ක්‍රියා මාර්ග ගැනීමටයි.
මගේ අධ්‍යයනයන් අනුව නම් ඔය මහවැලි ජලාශවල බැමි ඉදිකර තිබෙන්නෙ භුමිකම්පාවලට පවා ඔරොත්තු දෙන ආකාරයටයි. ඒක ඇත්ත. නමුත් දරාගත නොහැකි පීඩනයකදී ඒවා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා අපි නැවැත, නැවැත කියන්නෙ මෙවැනි අවදානම් තත්ත්වයන් අවම කිරීමේ වැඩපිළිවෙළ තිබෙන නීති ප්‍රමාණවත් නැත්නම් නව නීති හදා ගන්න ඕනේ. නීති රීති වැඩි කරලා පළාත් පාලන ආයතනවලටත් වගකීම් පවරලා අපි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කරලා අවදානම අවම කරන කාර්ය සැලසුම් සහගතව කඩිනම් කරන්න ඕනේ යැයිද මහාචාර්ය අතුල සේනාරත්න පෙන්වා දෙන්නේය.

