brand logo
logo
2020 සිට 2024 දක්වා විශ්‍රාම ගිය අයට කිසිදු දීමනාවක් නැහැ

2020 සිට 2024 දක්වා විශ්‍රාම ගිය අයට කිසිදු දීමනාවක් නැහැ

21 October 2026 | අශිකා ජයවීර

2020 සිට 2024 දක්වා කාලයේ සේවයෙන් විශ්‍රාම ගිය එක්ලක්ෂ පනස් හතර දහසකට ආසන්න රාජ්‍ය සේවකයන්ට කිසිදු වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දී නැතැයි 2020 - 2024 රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව ප්‍රකාශ කරයි.


මෙම විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට සාධාරණය ඉටුකර ඔවුන්ට අහිමි වූ වැටුප් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිමින් ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධිදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් 2020 සිට 2024 දක්වා කාලයේ සේවයෙන් විශ්‍රාම ගිය අති විශාල පිරිසක් එක්ව සිටියහ.


2020 - 2024 කාලය තුළ උද්ධමනය විශාල ලෙස ඉහළ යාම, කොරෝනා වසංගතය, රට බංකොලොත්වීම ආදී කරුණු තිබියදීත් අඩු වැටුපක් ලබා, අඩු වැටුපක් මත විශ්‍රාම ගිය විශ්‍රාම වැටුප පසුගිය අයවැය මගින් වැඩි­කළ 2025 වැටුපට ගළපා විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස මෙම පිරිස් රජයෙන් ඉල්ලා සිටී.


එමෙන්ම මෙම කාලයේ විශ්‍රාම ගිය අපට ලැබෙන විශ්‍රාම වැටුප අනෙකුත් විශ්‍රාමිකයන්ගේ වැටුප සමග සසඳන විට විශාල පරතරයක් තිබෙන බවත් සාමාන්‍යයෙන් උද්ධමනය අනුව විශ්‍රාම වැටුප වැඩිවිය යුතු බවත් සමානයන්ට සමාන ගෞරවය හිමිවෙන විශ්‍රාම වැටුපක් ලැබිය යුතු බවත් විවිධ වැකි සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයට සහභාගි වූ විශ්‍රාමිකයෝ පැවසූහ.


අදාළ කාලසී­මාව තුළ විශ්‍රාම ගිය පිරිසගේ වැටුප් විෂමතාව ඉක්මනින් විසඳිය යුතු බවත් උද්ඝෝෂකයන් වැඩිදුරටත් පැවසූ අතර 2020- 2024 කාලය තුළ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ට වඩා 70% – 80% පමණ ප්‍රමාණයකින් 2025 වසරේ විශ්‍රාම ගිය විශ්‍රාමිකයන්ගේ වැටුප වැඩි කළ අයුරින් 2026 වසරේ අයවැයෙන් මෙම අසාධාරණයට නිවැරැදි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔවුන් පැවසූහ.


මේ සම්බන්ධයෙන් ජනධිපතිවරයා දැනුවත් කරමින් ලිපියක් යොමු කළ ද එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවත් 2020 - 2024 කාලසීමාවේ විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට ඉතා අඩු විශ්‍රාම වැටුපක් ලැබීම විශාල අසාධාරණයක් වන අතර වර්තමාන ආර්ථිකය හමුවේ ජීවන මට්ටම පහතට ඇද වැටීම ඉතා කනගාටුදායක තත්ත්වයක් බව ද විශ්‍රාමිකයන් පෙන්වා දෙයි.


2025 අයවැය යෝජනා මගින් 2019.12.31 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය සියලුම රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීම තුළින් විශ්‍රාම වැටුප වැඩිවීම, සියලුම රජයේ සේවකයන් සඳහා 2025 ජනවාරි සිට මූලික වැටුප හා වැටුප් වර්ධකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් වැඩිකිරීම සහ


20 2024 දක්වා කාලය තුළ විශ්‍රාමිකයන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බව මෙම පිරිස අවධාරණය කර සිටි.


තම ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන්නේ නම් දිගින් දිගටම තම ඉල්ලීම් දිනාගැනීම අවසන් වෙන තෙක් විරෝධතාවයේ යෙදෙන බව 2020 - 2024 රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පවසා සිටි.


මෙම උද්ඝෝෂණයට සහය පළ කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටි අතර එහිදී ඔහු පෙන්වා දුන්නේ රටේ හුස්ම ලෙස කටයුතු කළ රාජ්‍ය සේවය විශ්‍රාම ගිය පසු ඔවුන්ව වත්මන් රජය අමතක කර ඇති බවත් මේ හේතුවෙන් 2020-2024 අතර විශ්‍රාම ගිය 154000කට වැඩි විශ්‍රාමිකයන් අගතියට පත්ව ඇති බවත් ය.


මේ අය මුහුණ දුන් විෂමතා නිවැරැදි කරන්න වත්මන් රජය අපොහොසත් වී ඇති බවත් පසුගිය වසර කිහිපයේම මේ ගැන පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත අවධානය යොමු කළත් වත්මන් රජයට මේ විශ්‍රාමිකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම බීරි අලින්ට වීණා වාදනය කිරීමක් බව මෙහිදී ඔහු පැවසුවේය.


විපක්ෂයේ සිටින විට විශ්‍රාමිකයන්ට සලකන්නට සහ ආණ්ඩු බලය ලැබුණ විට වත්මන් රජය සේ විශ්‍රාමිකයන් නොසලකා හරින දෙබිඩි පිළිවෙතක් සමගි ජන බලවේගයට නොමැති බවත් මේ විශ්‍රාමිකයන්ගේ අයිතිය වෙනුවෙන් හඬ නගනවා සේම ඔවුන් වෙනුවෙන් කළ යුතු උපරිම යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

More News..