මෙට්‍රෝ බස් සේවාව යාපනයටත්
10 November 2026
මෙට්‍රෝ බස් සේවාව යාපනයටත්
10 November 2026
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී සේවාව යාපනය දිස්ත්‍රික්කය දක්වා ව්‍යාප්ත කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව යාපනය නගරයේ මෙට්‍රෝ බස් රථ ධාවනය කිරීමට සුදුසු මාර්ග හඳුනා ගැනීම, තාක්ෂණික ශක්‍යතාව අධ්‍යනය කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් ඇගයීම ඇතුළු අරමුණු ඇතිව විශේෂ මාර්ග පරීක්ෂණයක් සහ පෙරහුරු ධාවනයක් අද (10) සිදු කෙරිණි.
මීට පෙර යාපනය වෙරළ පාරේ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් ව්‍යාපෘති අධ්යක්ෂ කාර්යාලයේදී යාපනයේ මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වුණි
යාපනයේ මෙට්‍රෝ බස් රථ සේවාව එළැඹෙන 2027 වසරේ මැද භාගයේදී ආරම්භ කිරීමට රජයේ ඉලක්කය වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කඩිනම් කිරීමටද අපේක්ෂිතය.
ඒ අනුව අද පැවැති මාර්ග පරීක්ෂණයේදී පහත් පතුල් සහිත මෙට්‍රෝ බස් රථ ධාවනය කිරීමට සුදුසු මාර්ග හඳුනා ගැනීම, බස් රථවල තාක්ෂණික අවශ්‍යතා ඇගයීම, නගරය කේන්ද්‍ර කරගනිමින් නව බස් රථ නැවතුම්පොළ ඉදිකිරීම සහ ඒවා අසල පෞද්ගලික වාහන නැවැත්වීමේ පහසුකම් සැලසීම ඇතුළු කරුණු කෙරෙහි අවධානය යොමු විය.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ බස් රථ 10කින් නියමු ව්‍යාපෘතියකින් ඇරඹි මෙට්‍රෝ බස් රථ සේවාව මේ වන විට බස් රථ 122කින් සමන්විත බවත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනම මේ වන විට ආවරණය කර ඇති බවත්ය.
කොළඹින් ලැබුණු අත්දැකීම් මත පදනම්ව මෙම ව්‍යාපෘතියේ මීලඟ අදියර සඳහා යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක තෝරාගෙන ඇති බවත් 2029 වසර දක්වා වූ ජාතික සැලැස්ම යටතේ ශ්‍රී ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම හරහා 100%ක් රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

