සර් ගාෆීල්ඩ් සෝබර්ස් නොහොත් ලෝකෙටම සිටි එක්කෙනා
20 July 2026
සර් ගාෆීල්ඩ් සෝබර්ස් නොහොත් ලෝකෙටම සිටි එක්කෙනා
20 July 2026
2026 ජූලි 17 වැනිදා උදා වූයේ මුළු ක්‍රිකට් ලෝකයම සංවේගයට පත් කළ ආරංචියක් සමගිනි. ගාෆීල්ඩ් (සෙන්ට් අයුබර්න්) සෝබර්ස් මියගොස් තිබේ. ඔහු ජීවත්වූ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් කිලෝමීටර් දහස් ගණනක් මෙපිටින් ජීවත්වන සුනිල් ගවස්කාර් ඒ දවස (නිවැරදිව) හැඳින්වූයේ ක්‍රිකට් ලෝකයට එළඹි කනගාටුදායකම දිනය හැටියටය. ඔහුම කියා සිටි අන්දමට ඒ මිහිපිට පහළ වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා එදින අප හැර ගිය නිසාය.
ක්‍රිකට් ජීවිතයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය මහ රැජින විසින් නයිට් පදවියකින් බුහුමන් කරනු ලැබූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් ක්‍රිකට් ලෝකයේ දැක්වූ දස්කම් හා විස්කම් ලියන්නට මේ තීරුව කිසිසේත් නොසෑහේ. ඔහු ගැන විවිධ භාෂාවලින් පොත් ගණනාවක් ලියවී ඇතත් පොතකින් ලියා ඉවර කරන්නට බැරි තරම් හපන්කම් 1954 සිට 1974 දක්වා විහිදුණු ක්‍රිකට් ජීවිතයේදී ගැරී සෝබර්ස් ප්‍රදර්ශනය කර තිබේ. 1936 ජූලි 28 සිට 2026 ජූලි 17 දක්වා වූ ඔහුගේ ජීවිතයම ලියා අවසන් කළ නොහැකි මහා ක්‍රිකට් පොතකි.
ටෙස්ට් තරග 93 කින් 57.78 ක සාමාන්‍යයක් සහිතව ශතක 26 ක් සමගින් ලකුණු 8032 ක්ද, විකට් 235 ක්ද ලැබූ මේ අපූර්ව තුන් ඉරියව් ක්‍රීඩකයා ජීවත්ව සිටියදීම ඔහු ගැන කෙරුණු වර්ණනා අසීමිතය. ඉන් සුළු ප්‍රමාණයක්වත් සඳහන් කරන්නට මෙතැන නොතැන බැවින් ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවා හැටියට අවිවාදයෙන් සැලකෙන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඔහු ගැන කර තිබූ ප්‍රකාශයක් පමණක් මෙහි උපුටා දක්වමු. ‘‘ලෝකයේ ජීවත්වූ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සර් ගාෆීල්ඩ් සෝබර්ස් යන්න අවිවාදිත බව මගේ කල්පනාවයි.’’
1958 දී (එනම් වයස අවුරැදු 21 දී) පාකිස්තානයට එරෙහිව සිය ප්‍රථම ටෙස්ට් ශතකය වාර්තා කළ සෝබර්ස් එය ත්‍රිත්ව ශතකයක් දක්වා ගෙන යෑමට සමර්ථ විය. තනි පුද්ගලයෙකු ලැබූ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව හැටියට එදා නොදැවී 365 ක් ලබා ගනිමින් ඔහු තැබූ ලෝක වාර්තාව 2004 දී ඔහුගේම රටේ බ්‍රයන් ලාරා විසින් බිඳහෙළන තෙක් අවුරුදු 46 ක් පැවතුණේය. ඒ අතරේ පළමුවැනි ටෙස්ට් ශතකය, ත්‍රිත්ව ශතකයක් කරමින් ඔහු තැබූ වාර්තාව අද දක්වා කිසිවෙකු විසින් බිඳ හෙළා නැත. තවද පළමුපෙළ ක්‍රිකට් තරගයකදී ඕවරයේ පන්දු හයටම හයේ පහර හයක් ලබාගත් ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩකයාද ඔහුය. ඒ 1968 දී එංගලන්තයේ ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කරමිනි.
සෝබර්ස් විශිෂ්ට ක්‍රීඩකයෙකු පමණක් නොව අපූරු මානුෂීය ගුණාංගවලින්ද යුතුවූ පුද්ගලයෙකු විය. 1959 දී තමා පදවමින් සිටි කාරය අනතුරකට ලක්වීම නිසා ඔහු සමග ගමන් කරමින් සිටි ක්‍රිකට් ක්‍රීඩක කූලි ස්මිත් මිය ගියේය. ඉතා හොඳ අනාගතයක් ඇතැයි විචාරකයන් කියූ මේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයා අනතුරට ලක්වූයේ තමා පැදවූ වාහනයෙන් වීම ගැන ඔහු ජීවිත කාලය පුරාම දුක් විය. සිය ක්‍රිකට් ජීවිතයේ අති සාර්ථකත්වය ගැන අවසාන කාලයේදී සඳහන් කරමින් ගැරී සඳහන් කළේ ‘‘එයින් පස්සෙ මම හැමදාම සෙල්ලම් කරේ දෙන්නෙක් වෙනුවෙන්’’ බවය.
ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ දැවැන්තයා ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණු මුල් කාලයේ අපේ කණ්ඩායමේ පුහුණුකරු හැටියටද ක්‍රියා කළේය. එකල තේරීම් කමිටුව විසින් හුදු එක්දින ක්‍රීඩකයෙකු හැටියට සලකා පැත්තකට කරන්නට තැනූ තරුණ ක්‍රීඩකයෙකු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් කරගැනීමට සෝබර්ස් සූක්ෂ්ම සටනක් එකල ගෙන ගියේය. ඒ ක්‍රීඩකයාගේ නම අර්ජුණ රණතුංගය. අර්ජුණ පසුකාලයක මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ බව සඳහන් කරමින් කියා සිටියේ ක්‍රිකට් ජීවිතයේ සිය පියා සර් ගාෆීල්ඩ් සෝබර්ස් බවය. මේ අන්දමින් සෝබර්ස් බටහිර ඉන්දීය කොදෙව් පිලේ තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන්ද මහඟු මෙහෙවරක් කළ බව ඔහු ගැන ලියන්නන් නොවරදවා සඳහන් කරන කාරණයකි.
ඔහු ක්‍රිකට් පිටියේ සෑම සියලු තැනකම දක්ෂකම් දැක්වූයේය. ස්ථාවර ස්ථානයක පහරදීමට අවස්ථාව නොලැබීම ගැන ක්‍රීඩකයන් පැමිණිලි කරන ලෝකයක ඔහු අංක 1 සිට අංක 7 දක්වා සෑම ස්ථානයකම ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූයේය. මද වේග පන්දු යවන්නෙකු වූ ඔහු පන්දුව කඩතොලු වූ විට දඟ පන්දු යැව්වේය. ඔහු පිටියේ සෑම ස්ථානයකම පන්දු රැකීමටද දක්ෂ විය. ක්‍රිකට් පිටියේ ඔහුට නොහැකි වූයේ තමන් පන්දු යවන විට කඩුලු රැකීමට පමණක් යැයි කියනු ලැබේ.
සර් ගාෆීල්ඩ් සෝබර්ස්,
ක්‍රිකට් වෙනුවෙන් ඔබ කළ සියලු දෙයට ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් ස්තූතියි!

