Best News Website award
brand logo
logo
බෞද්ධ දෙපාර්තමේන්තුවට මිටියකින් ගැසූ හිමිනම අංගොඩ වැඩමවයි

බෞද්ධ දෙපාර්තමේන්තුවට මිටියකින් ගැසූ හිමිනම අංගොඩ වැඩමවයි

19 November 2026

කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණ එහි විදුරු දොරටුවකට හා පරිගණක දෙකකට මිටියකින් පහරදී නිලධාරින්ට මරණීය තර්ජනය කළ හිමිනමක් කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩසිටින 55 හැවිරිදි හිමිනමක වන අතර පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ මෙම භික්ෂුව මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවය.

මෙම හිමිනම පෙරේදා (17 වැනිදා) දහවල් 12 ට පමණ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර එහිදී අතැති මිටියකින් එකවරම එහි විදුරු දොරටුවට පහරදී දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතුළු වී තිබේ. අනතුරුව දෙපාර්තමේන්තුව තුළ වූ පරිගණක යන්ත්‍ර දෙකකට ද පහරදී තොපි ඔක්කොම මරනවා යැයි කියමින් කලහකාරී ලෙස හැසිර ඇති අතර මෙහිදී හිමිනම මෙල්ල කිරීම සඳහා පැමිණි නිලධාරියකුටද පහරදීමට උත්සාහ දරා තිබේ.


මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ හිමිනම පාලනය කර රඳවාගෙන ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් අසංක මුණවීර විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත.

විමර්ශනවලට අනුව මෙම හිමිනම මානසික රෝගයකින් පෙළෙන බවට හඳුනාගැනීමෙන් පසු සැකකාර හිමිනම අංගොඩ මානසික වෛද්‍ය විද්‍යායතනයට ඇතුළත් කර ඇත. හිමිනම එහි වාට්ටු අංක 08 හි නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

 

More News..