brand logo
logo
 හතරවන පරම්පරාවේ පොහොර වී වගාවට හඳුන්වාදීම සාර්ථකයි

හතරවන පරම්පරාවේ පොහොර වී වගාවට හඳුන්වාදීම සාර්ථකයි

07 September 2026


රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන, නවීන තාක්ෂණයෙන් යුත් හතරවන පරම්පරාවේ MCI හයිබ්‍රිඩ් කැට පොහොර සහ Biofilm ජෛව පොහොර වී වගාවට හඳුන්වාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් 2026 අගෝස්තු 25 වැනිදා මීරිගම විල්වත්ත ගොවි සමිතියේදී සාර්ථකව පැවැත්විණි.


නවීන කෘෂි තාක්ෂණය සහ විද්‍යාත්මක පොහොර භාවිත ක්‍රමවේද ගොවි ජනතාව වෙත හඳුන්වා දෙමින්, වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කෘෂිකාර්මික නිෂ්පාදනයක් සඳහා ඔවුන් දිරිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.


වැඩසටහනට සමගාමීව, මීරිගම විල්වත්ත ගොවි සමිතියේ සභාපති ජී. ආර්. ලීලානන්ද මහතාට අයත් කුඹුරේ අස්වනු සමීක්ෂණයක් ද සිදු කෙරිණි. MCI හයිබ්‍රිඩ් කැට පොහොර සහ Biofilm ජෛව පොහොර නිවැරදි හා විද්‍යාත්මක ආකාරයෙන් යෙදීම, ඒවායේ භාවිත ක්‍රමවේද සහ එමඟින් ලබාගත හැකි කෘෂිකාර්මික ප්‍රතිඵල පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද එහිදී පැවැත්විණි.


මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු ක්‍රිෂාන්ත අබේසේන මහතා සහ අමාත්‍යාංශ නියෝජිතයෝ සහභාගි වූහ. ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රාදේශීය නිලධාරීන් සහ ලංකා බයෝ ෆර්ටිලයිසර්ස් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සමුදිත කුමාරසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඊට එක්ව සිටියහ.


රාජ්‍ය හා පෞද්ගලික අංශ සතු දැනුම, තාක්ෂණය සහ සම්පත් ඒකාබද්ධ කරමින් මෙවැනි වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණය වෙත යොමු කිරීමට අපේක්ෂිතය. එමෙන්ම ගොවි ජනතාවගේ ඵලදායීතාව සහ ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීම ද මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණකි.


 

More News..