brand logo
logo
වන අලියෙකුගේ ප්‍රහාරයකින් බස් රථයක් පෙරළෙයි - 10කට තුවාල

වන අලියෙකුගේ ප්‍රහාරයකින් බස් රථයක් පෙරළෙයි - 10කට තුවාල

03 September 2026 | නුවන් ජයසේකර - සූරියවැව


බුත්තල – කතරගම මාර්ගයේදී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.


මෙම අනතුර අද (03) පෙරවරු 11.00ට පමණ බුත්තල – කතරගම මාර්ගයේදී සිදුව ඇත.


හලාවත සිට කතරගම වන්දනාවේ පැමිණ, අනතුරුව බුත්තල දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයට මාර්ගයේ සිටි වන අලියෙකු පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.


අලියාගේ ප්‍රහාරය හේතුවෙන් රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව සඳහන් වේ.


අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 45 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර, බස් රථය පෙරළීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.


රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.





https://youtu.be/C2QcJCDgnjQ

 

More News..