දේශීය කර්මාන්ත ප්‍රර්වධනය කරමින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි - ජනපති
26 June 2026
දේශීය කර්මාන්ත ප්‍රර්වධනය කරමින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි - ජනපති
26 June 2026
දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මගින් ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් ආයෝජන කිරීමට සහ වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් පිරිසට රජයේ උපරිම සහාය ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
ලොව බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වූයේ දේශීය කර්මාන්ත අපනයනය සඳහා යොමු කිරීමෙන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනට පවතින විදේශ ණය පීඩනයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන මත යැපීමෙන් මිදීමට ඇති එකම මාවත දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම බවද පෙන්වා දුන්නේය.
දේශීය කර්මාන්තකරුවන් අපනයන ක්ෂේත්‍රයට පිවිසීම දිරිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ජා කෙරුණු අතර රබර් සහ තේ කර්මාන්තය නගා සිටු වීමත්, අපනයන ආදායම ඉහළ නංවා ගැනීමත් වෙනුවෙන් 2026- 2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්මට සමගාමීව නව උපායමාර්ගික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
එමෙන්ම නිෂ්පාදන ධාරිතාව සහ දත්තවල වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා වාර්ෂිකව නිෂ්පාදනය වැඩි කරන ප්‍රමාණය පිළිබඳවද නිවැරදි අවබෝධයක් තිබීමේ අවශ්‍යතාවයද පැහැදිලි කළේය.
නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සරල මෙන්ම කාර්යක්ෂම විය යුතු අතර, එහිදී කර්මාන්තරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීමට අවශ්‍ය සියලු දත්ත රජය වෙත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
විශේෂයෙන් පොහොර සහ අනෙකුත් යෙදවුම් ලබා දීමේදී ඒවායේ ප්‍රතිඵල සහ අපනයන ආදායම අතර පවතින සබඳතාව විද්‍යාත්මකව බැලිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
දේශීය කර්මාන්තරුවන් දිරිගැන්වීමේදී ශුද්ධ ඩොලර් ආදායම වැඩි කර ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බවත්, අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීමට වැයවන ඩොලර් ප්‍රමාණය සහ නිෂ්පාදන අපනයනයෙන් නැවත රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අතර පරතරය නිවැරදිව කළමනා කරණ කළ යුතු බවත් අමුද්‍රව්‍ය ගෙන ඒම සඳහා විශාල වශයෙන් ඩොලර් එළියට යන නමුත්, අපනයන ආදායම ලෙස රටට ලැබෙන ශුද්ධ ලාභය ප්‍රමාණවත් නොවේ නම් එය ගැටලුවක් බවත් පෙන්වා දුන්නේය.
රබර් ක්ෂේත්‍රය රටට විශාල වශයෙන් ඩොලර් ගෙන ආ හැකි මාර්ගයක් වුවද, දැනට මෙරට නිෂ්පාදනය වන්නේ අවශ්‍යතාවයෙන් 50%ක් පමණක් බවද මෙහිදී අනාවරණය විය.
අගය එකතු කිරීම් සමග රබර් කර්මාන්තය තුළින් අපනයන ආදායම 2030 වසර වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 03කින් පමණ ඉහළ නංවා ගැනීමේ විභවතාවක් පවතින බවද මෙහිදී සාකච්ඡා විය.
රබර් වගාව ව්‍යාප්ත කිරීමට පවතින ප්‍රධාන බාධාව වන්නේ භූමිය සීමිත වීම සහ ශ්‍රමික හිඟය බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභීන් මෙම වගාවන් සඳහා සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙරට ටයර් නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක පැවතිය ද, ටයර් ආනයනය හේතුවෙන් දේශීය කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳවද අවධානය යොමු විය.
එමෙන්ම, අමුද්‍රව්‍ය හිඟය සහ ඇතැම් නීතිමය බාධා හේතුවෙන් දේශීය කර්මාන්තකරුවන්ගෙන් උපරිම දායකත්වය නොලැබීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ සඳහා ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
කළුතර, රත්නපුර සහ කෑගල්ල වැනි සාම්ප්‍රදායික ප්‍රදේශ වලට අමතරව මොණරාගල සහ ඌව වෙල්ලස්ස වැන ප්‍රදේශ වල රබර් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීම සහ හෙක්ටයාරයකට ලැබෙන ඵලදාව වැඩි කිරීම මගින් රබර් වගා කරුවන්ගේ ආදායම ඉහළ නැංවීමටත්, එමගින් ඔවුන් මෙම වගාවේ රඳවා ගැනීම පිළිබඳවත් සාකච්ඡා විය.
එමෙන්ම රබර් පර්යේෂණ ආයතන මගින් හඳුන්වා දෙන නව ක්‍රමවේද කර්මාන්තයේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි වේගවත්ව ක්‍රියාත්මක කිරීම, රබර් වගා බිම් පාම් ඔයිල් වගාවට හෝ වෙනත් කාර්යයන්ට යොදා ගැනීම වෙනුවට, විද්‍යාත්මක ක්‍රම වේද ඔස්සේ රබර් වගාව දිරිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.
ඉරාන වෙළෙඳපොළ සහ මැද පෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් තේ අපනයන සඳහා ගතවන කාලය සහ පිරිවැය ඉහළ ගොස් ඇති බව මෙහිදී තේ අපනයනකරුවෝ පෙන්වා දුන්හ.
ලංකාවේ තේ සඳහා ඉරානය ඉතා වැදගත් වෙළෙඳපොළක් වන අතර, ඉරානය සමඟ පවතින "තේ වෙනුවට තෙල්" (Oil for Tea) බාටර් ගිවිසුම යටතේ පවතින මූල්‍ය ගැටලු විසඳීමට විදේශ අමාත්‍යාංශය මගින් මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කෙරිණි.
ලංකාවේ තේ නිෂ්පාදකයන්ගෙන් වැඩි පංගුවක් දරන කුඩා තේ වතු හිමියන්ගේ ඵලදායීතාව වර්ධනය කිරීමට පැළ සහ පොහොර සඳහා සහන ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන වැට් බදු ප්‍රතිලාභය ලබා ගැනීමේ ප්‍රමාදය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව පුහුණු පාඨමාලා පවත්වමින් අපනයනකරුවන් තවදුරටත් දැනුවත් කර ඔවුන්ගේ කටයුතු පහසු කර අදාළ බාධාවන් මගහරවා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

