දළදා කරඬුව මාරු කළේ ඇයි?
20 September 2026 | ජයසූරිය උඩුකුඹුර
දළදා කරඬුව මාරු කළේ ඇයි?
20 September 2026 | ජයසූරිය උඩුකුඹුර
මහනුවර ඇසළ පෙරහර මඟුල් ඇතු මත කරඬුව වරම්මාගෙන වීදි සංචාරය කළේ දෙතුන් සතියකට ඉහතදීය. එම අවස්ථාවේදී මඟුල් ඇතු මත වැඩමවන්නේ දළදා කරඬුව නොවේ, පෙරහරේ කරඬුවය. සැදැහැවතුන්ට සැබෑ දළදා කරඬුව දිනපතා පියවි ඇසින් දැක බලාගෙන නිවී සැනසෙන්නට ඉඩ ලැබෙන්නේ තේවාව පැවැත්වෙන වේලාවටය. ඒ, ඉහළ මාලයේ දොරටු විවර කර මල් අසුන ළඟින් දුරින් සිට දළදා කරඬුව දැක වැඳ පුදා ගැනීමට ලැබෙන නිසාය. රාජ රාජ මහාමාත්‍යවරුන් රජයේ ඉහළ තනතුරුවලට නව පත්වීම් ලැබූ අය සේම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කරඬුව වැඩ සිටින මැදුරට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට විශේෂ වරප්‍රසාදයක් ඇත්තේය. මේ අවස්ථා හැරුණු කොට දළදා කරඬුව දැක බලා ගැනීමට ලැබෙන්නේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණහොත් පමණි.
දළදා කරඬුව ගැන රටේ වැසියෝ කතා කරන්නේ ඇහළ මහේ වුවද ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍ර වන ජීවමාන බුදුන් ලෙස නම් දරා ඇති දළදා කරඬුව ගැන මේ බිනර මාසයේ රටේ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබේ. නිමිත්ත දළදා කරඬුවේ පැවිදි හා ගිහි භාරකරුවන් වන සියම් මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකගොඩ ශ්‍රී ඤාණරතන යන නාහිමිවරු හා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ අත්සනින් යුත් විශේෂ සංදේශයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කිරීමය. ඒ, අලුතින් සකස් කෙරුණු කිලෝ 86ක් බරැති රන් කරඬුව ගැන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනුවත් කිරීමටය.
ඒ කතාව දැන ගැනීමට පෙර දළදා කරඬුවේ ඉතිහාස කතාව දැන ගැනීම වටී.
දෙවැනි විමලධර්මසූරිය රජතුමා විසින් තැනීම ආරම්භ කර, කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී නිමවා ඇති රිදී මහ කරඬුව රන් ආලේපිත කරඬුවකි. විවිධ යුගවල රජවරුන්, රාජ්‍ය නායකයන් මෙන්ම බුරුමය හා සියමය (තායිලන්තය) ආදී රටවල බොදු බැතිමතුන් පූජා කළ වටිනා මුතු මැණික්වලින් මෙම ඓතිහාසික කරඬුව අලංකාර කර තිබිණ. ඒ ඓතිහාසික කරඬුව අඩි පහහමාරක් පමණ උසැති රිදීයෙන් තනන ලද්දෙකි. මෙහි නව රත්නයන් ඔබ්බවා රන් ආලේප කර ඇත. දැන් ආන්දෝලනයට ලක්වී ඇත්තේ රජ දවස සිට පැවැත එන කරඬුව වෙනුවට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන කමන්ත අමරසේකරයන්ගේ මූල්‍ය දායකත්වයෙන් ඉකුත් 8 වැනිදා නව කරඬුවක් පූජා කිරීමය. රනින් නිම වූ මේ කරඬුව දළදා වහන්සේ වැඩ සිටින කරඬු හතේ පිටත කරඬුව ලෙස තැන්පත් කර ඇත.
ඓතිහාසික කරුණු අනුව දළදාවහන්සේ තැන්පත් කර ඇති කරඬු අතරේ පිටතින්ම පිහිටි කරඬුව දෙවන විමලධර්මසූරිය රජුගේ කාලයේ සකස් කරන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර 439කට පමණ පෙරය. පුරාවිද්‍යා නීතියට අනුව වසර සියයක් හෝ ඊට වඩා පැරණි වෙහෙර විහාර පවා පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථාන ලෙස සැලකේ. ඒ අනුව දළදා කරඬුව පුරාවිද්‍යාවට අයත් දේපළකි. පුරාවිද්‍යාවට අයත් දේපළ ප්‍රතිසංස්කරණය හෝ වෙනස් කිරීම ඉවත් කිරීම හිතුමතේ කළ නොහැකිය. ඊට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍යය. උදාහරණයක් ලෙස වසර සියයක් පැරණි ප්‍රධාන පෙළේ ගොඩනැගිලි පවා ප්‍රතිසංස්කරණය කිරීමට නම් පුරාවිද්‍යා අවසරය ඕනෑය. කෙසේ නමුදු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ පැවසුවේ පැරණි දළදා කරඬුව මාරු කිරීම ගැන තමන්ට නිල දැනුම් දීමක් කර නැති නිසා මේ සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ග ගැන සොයා බලමින් සිටින බවය.
මේ පිළිබඳ අප දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑලගෙන් විමසුවෙමු. "දළදා කරඬුව වෙනස් කර රනින් නිම කළ අලුත් කරඬුවක් තැන්පත් කර තිබීම සත්‍යයක්. අප එය කර තිබෙන්නෙ ඊට නියමිත රාජකාරි සිරිත් විරිත්වලට අනුකූලවයි. දළදා තේවාව භාර මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ සහභාගිත්වයෙන් අදාළ සිරිත් විරිත් අනුව දළදා වහන්සේ වැඩ සිටින කරඬු සමූහයේ පිටත කරඬුව මාරු කරලා බෞද්ධ බැතිමතකු වූ දානපති කමන්ත අමරසේකරයන් නිර්මාණය කර දුන් රනින් නිමවූ කරඬුව තැන්පත් කර තිබෙනවා’’ යැයි දියවඬන නිලමේවරයා කිවේය.
මෙම කාර්ය එක් රැයකින් දෙකකින් සිදු වුවක් නොවන බවද ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට වූ බවද ඒ දිර්ඝ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අලුත් කරඬුව තැන්පත් කිරීමට හැකි වූ බවද දියවඩන නිලමේ නිලංග දෑල පෙන්වා දෙන්නේය.
එහෙත් ශ්‍රී දළදා මාලිගාවෙහි හිටපු දියවඩන නිලමේවරයකු වන නෙරංජන් විජේරත්න පෙන්වා දෙන ආකාරයට මෙම කරඬු මාරුව සම්ප්‍රදාය විරෝධී සේම පුරාවිද්‍යා නීතියටද පටහැනිය. ඒ අනුව මෙම කටයුත්තට මුල් වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඔහුගේ ඉල්ලීමය.
අප මේ පිළිබඳ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ පෙනවා දුන්නේ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් කිසි විටකත් හානිකර ආකාරයට වරදක් නොකරන බව තමන්ට විශ්වාස බවය. "මේ කාරණය ගැන මේ දක්වාම එක් පාර්ශ්වයක් පමණක් සමාජ මාධ්‍ය තුළ නොයෙක් චෝදනා කරනවා. සමහර අය ප්‍රශස්ති ගයනවා. කවුරු මොනවා කිව්වත් මේවා කරන්න ඕන පිළිවෙළට ඒවා කරන්න ඕනේ. ඒ පිළිවෙත් පසෙක දාලා අපේ මහනාහිමිවරු හෝ දියවඩන නිලමේ කටයුතු කරයි කියල විශ්වාස කරන්න බෑ. අවස්ථාව ආවාම ඒ අය මේ ගැන කරුණු පැහැදිලි කරලා නිරවද්‍යතාව ඔප්පු කරාවි. ඒ නිසා රටේ ජනතාව එක එක අය කියන දෙයින් කුලප්පු වෙන්න හොඳ නෑ. බුද්ධ ශාසනය විනාශ කරන නොයෙක් ක්‍රියාකාරකම් සිදු වෙමින තිබෙන මේ මොහොතේ මේ කාරණයත් එවැනි අය බුදු සසුනට පහර ගහන්න යොදා ගන්න පුළුවන්. ඒ නිසා බෞද්ධ අපි කලබල නොවී සන්සුන්ව කටයුතු කළ යුතු’’ බවද උන්වහන්සේ කීහ. දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති අභ්‍යන්තර කරඬු ආවරණය වන ආකාරයට රනින් නිම කර ඇති අලුත් කරඬුව තුළ පිරිසුදු රත්තරන් කිලෝ ග්‍රැම් 65.224 ක් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහතික කර තිබේ. ඊට ඔබ්බවා ඇති මැණික් ගල්වල බර කිලෝග්‍රෑම් 1.480 කි. පෑස්සුම් හා උපකාරක ද්‍රව්‍යවල බර කිලෝග්‍රෑම් 20.822කි. මේ අනුව අලුත් කරඬුවේ මුළු බර කිලෝග්‍රෑම් 86.04 ක් බව තහවුරු කර ඇත. මේ කරඬුව පූජා කළ කමන්ත අමරසේකර බ්‍රවුන්ස් සමාගම, කැලණි ටයර්, මඩෝල්සිම වැවිලි සමාගම, බළන්ගොඩ වැවිලි සමාගම ඇතුළු සංචාරක හෝටල් ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් රැසක අධ්‍යක්ෂවරයෙකි. රටේ තොටේ ඔහුගේ නම නිතර නොකියැවුණද කොළඹ ව්‍යාපාර ලෝකයේ ඔහු ප්‍රකට චරිතයකි. කමන්ත අමරසේකර නව දළදා කරඬුවක් පූජා කිරීම ගැන මේ වනවිට විවිධ කතා පැතිර යාමට පටන්ගෙන තිබේ. ඇතැමුන් ඊට දේශපාලනයද සම්බන්ධ කර කතා කර තිබේ. මේ පිළිබඳ අප ඔහුගෙන් දැන ගැනීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.

