ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් අලෙවි කළ වෙළෙඳසලක් වටලයි
19 August 2026
ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් හා ලිහිසි තෙල් අලෙවි කළ වෙළෙඳසලක් වටලයි
19 August 2026
රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමකින් යුත් ප්‍රමිතියෙන් තොර වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් භාරයට ගෙන තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ කඩවත – ගනේමුල්ල පාරේ, පාසල් මාවත ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක් ඉලක්ක කරගෙනය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අංක 85 සහ 88 දරන විධාන උල්ලංඝනය කරමින් ලිහිසි තෙල් හා වාහන අමතර කොටස් අලෙවි කිරීම සහ ගබඩා කර තැබීම, විකුණන භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරීත්වයන් හේතුවෙන් මෙලෙස නීති ක්‍රියාත්මක කර ඇත.
මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ නිලධාරීන් විසින් මුද්‍රා තබා ඇති අතර, අදාළ වෙළෙඳ භාණ්ඩවල සාම්පල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළෙඳසැල් හිමිකරුට සහ අදාළ වෙළෙඳ නියෝජිතයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
වාහන අමතර කොටස් සහ ලිහිසි තෙල් මිලදී ගැනීමේදී ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත්, භාණ්ඩයේ මිල, තත්ත්වය සහ අදාළ ප්‍රමිතීන් නිවැරදි දැයි තහවුරු කර ගැනීමෙන් පසු ඒවා මිලදී ගන්නා ලෙසත් බලධාරීන් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
සැක කටයුතු වාහන අමතර කොටස් හෝ ලිහිසි තෙල් අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු වෙතොත්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස දන්වා සිටියි.

