brand logo
logo
වසර 21කට පසු ශ්‍රී ලංකා දැල්පන්දුව ආසියාවේ තුනට වැටෙයි

වසර 21කට පසු ශ්‍රී ලංකා දැල්පන්දුව ආසියාවේ තුනට වැටෙයි

17 August 2026

හොංකොං හිදී පැවැති 14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේදී තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (15 වැනිදා) සිදු වූ අතර 2005 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට ආසියානු ශූරතාව හෝ අනුශූරතාවට මෙපිටින් නැවතීමට සිදු වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දැල්පන්දු ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවස්ථාව ද අහිමි විය.


තරගාවලියේ කුසලාන අදියර සඳහා තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ප්‍රබල සිංගප්පූරුව සමගින් තරග කළ අතර එහිදී ලකුණු 82-54ක දරුණු පරාජයක් ලැබීය. කෙසේ වෙතත් මූලික වටයේදී සිංගප්පූරුව සමග පැවැති තරගය 62-51ක් ලෙස ලකුණු 11ක පරතරයකින් පරාජය ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, අවසන් පූර්ව වටයේදී ලකුණු 28ක පරතරයකින් පරාජය වීම කැපී පෙනෙන සිදුවීමක් විණි.


අනෙක් අවසන් පූර්ව තරගයේදී මැලේසියාව පරදමින් අවසන් මහා තරගයට පිවිසීමට හොංකොං කණ්ඩායම සමත් වූ අතර අවසන් මහා තරගයේදී ලකුණු 57-33ක් ලෙස පහසුවෙන් සත්කාරකයන් පැරදූ සිංගප්පූරුව අඛණ්ඩව දෙවැනි වරටත් ශූරතාව දිනා ගනිමින් සිය 5වැනි ආසියානු ශූරතාවට හිමිකම්කීමට සමත් විය. අනුශූරතාවට හිමිකම් කියූ හොංකොං පිල, 1993 වසරේ ආසියානු ශූරතාව දිනා ගැනීම හැරුණු කොට ආසියානු කුසලාන තරගාවලියේ ලැබූ එකම ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයකි.


තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකාව විසින් ලකුණු 65-60ක් ලෙස මැලේසියාව පරාජය කරන ලදී. ශ්‍රී ලංකාව අවසන් වරට 2005දී ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියක තෙවැනි ස්ථානයට පත් වූ අතර අනතුරුව පැවැති තරගාවලි 7දී ශූරතා 3ක් සහ අනුශූරතා 4ක් දිනා ගැනීමට සමත් විය.


ශූරතාව දිනූ සිංගප්පූරු සහ අනුශූරතාව දිනූ හොංකොං කණ්ඩායම් 2027 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී පැවැත්වීමට නියමිත දැල්පන්දු ලෝක කුසලාන සඳහා ආසියාවෙන් සුදුසුකම් ලැබීය. මෙය හොංකොං කණ්ඩායම 2003 වසරෙන් පසු ලෝක කුසලාන සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස සටහන් විණි.

 

More News..