කජ්ජාගේ පුතා ළඟ දුලබ ගිනිඅවියක්
14 October 2026 | සහම්පති මානගේ - තංගල්ල / නුවන් ජයසේකර - තංගල්ල
කජ්ජාගේ පුතා ළඟ දුලබ ගිනිඅවියක්
14 October 2026 | සහම්පති මානගේ - තංගල්ල / නුවන් ජයසේකර - තංගල්ල
අරුණ විදානගමගේ නොහොත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තා සිය හය හැවිරිදි සිඟිති දියණියත් නව හැවිරිදි පුතාත් සමග යළි නොඑන ගමන් ගියේ පසුගිය අවුරුද්දේ පෙබරවාරි 19 වැනිදාය. ඒ මොවුන් තිදෙනාම වෙඩි වරුසාවකට මැදි වීම හේතුවෙනි. අවසානයේ ඉතිරි වූයේ ‘කජ්ජා’ගේ වැඩිමහලු පුතු පමණ ය. එකල ඔහු ගැන රට්ටු කම්පා වුණේ මවු සෙනෙහස අහිමි පුතුට පිය සෙනෙහස ද අහිමි වීම සම්බන්ධයෙනි.
මෙදා යළි කජ්ජාගේ වැඩිමහලු පුතු ගැන රට්ටු වැඩිපුර කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඔහු ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගැනීමත් සමගිනි. දාහත් හැවිරිදි වියේ පසුවන ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයෙනි.
කජ්ජාගේ පුතු සතුව ගිනිඅවියක් ඇති බවට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට තොරතුරක් ලැබී තිබිණි. ඉන් කියැවුණේ කජ්ජාගේ පුතාගේ සම වයස් මිතුරකුගේ නිවසේ කජ්ජාට අයත් ගිනි අවියක් ඇති බවයි. එම නිවෙස පිහිටා ඇත්තේ වීරකැටිය යක්ගස්මුල්ලේ ය.
පොලිසියට ලැබුණු තොරතුරු අනුව ගිනිඅවිය සොයාගිය ඔවුන්ට එය සොයාගැනීමට හැකිවූයේ කජ්ජාගේ පුතුගේ මිතුරාගේ නිවසේ බෆල් එකක් ඇතුළේ සඟවා තිබියදීය. පොලිසිය සඳහන් කරන ආකාරයට ගිනිඅවිය බෆල් එක තුළ සඟවා ඇත්තේ කජ්ජාගේ පුතා විසිනි. එහෙත් එය එතැන ඇති බව මිතුරා දැන සිට නැත.
බෆල් එකෙහි හිමිකරු කජ්ජාගේ පුතා ය. එය මිතුරාගේ නිවෙසට ගෙනැවිත් දමා ඇත්තේ නිවෙසේ සාදයක් පැවැති අවස්ථාවකදීය. අඩි පහක් පමණ උසැති බෆල් එක තුළට ගිනිඅවියක් ඇති බව පිටතින් බැලූ විට කිසිවෙකුටත් නොපෙනෙන බව පොලිසිය කියයි. තමන් සොයාගත් ගිනිඅවිය කලාතුරකින් හමුවන වර්ගයේ එකක් බව පොලිස් නිලධාරිහු කියති. එය බෝල්ට් ඇක්ෂන් වර්ගයේ බෝර 12 ගිනිඅවියක් බවත් එය විදේශීය රටක නිෂ්පාදනය කළ එකක් බවත් පොලිසිය සඳහන් කරයි. අඩුම තරමේ මෙම ගිනිඅවිය බලපත්රවලට හෝ ලබා නොදන වර්ගයේ එකක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ ගිනිඅවිය කජ්ජාගේ පුතු අතට පත්වූයේ කෙසේදැයි පොලිසිය තොරතුරු සෙව්වේය. එහිදී අනාවරණය වී තිබුණේ ‘බෙලි රනා’ නමැති සංවිධානාත්මක අපරාධකරුවකු විසින් මෙය ලබා දී ඇති බවයි. ‘බෙලි රනා’ යනු විදෙස් රටක සැඟව සිටිමින් අපේ රටේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්රව්ය ජාවාරම් කරන බව කියන අයෙකි. ‘බැකෝ සමන්’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මවගේ ඝාතනයට ද ‘බෙලි රනා’ගේ නම ගෑවී ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඔහු ගිනිඅවියක් කජ්ජාගේ පුතුට දීමට හේතු ලෙස කජ්ජාගේ පුතුට කියා ඇත්තේ පියාගේත් සහෝදරයන් දෙදෙනාගේත් අවුරුද්දේ දානය දා ඔහුද ඝාතනය කරන්නට පිරිසක් සූදානමින් සිටින බවයි. තවද ‘බෙලි රනා’ කජ්ජාගේ පුතුට ගිනිඅවිය දී ඇත්තේ ලොකේෂන් ක්රමයටය. ලොකේෂන් ක්රමය යැයි කියන්නේ අපරාධකරුවකුගේ උපදෙස් අනුව ඔහුගේ ගෝලයකු විසින් රැගෙන ගොස් තබන ගිනිඅවිය වෙනත් අයකු පසුව පැමිණ රැගෙන යාමය. එවිට ගිනිඅවිය තබන පුද්ගලයා හෝ රැගෙන යන පුද්ගලයා එකිනෙකා හමුවෙන්නේ නැත. අපරාධ කල්ලි සාමාජිකයන් අවි ආයුධ සහ මත්ද්රව්ය බෙදාහරින්නේ මේ ක්රමයටය.
කජ්ජාගේ පුතුට ද උපදෙස් ලැබෙන්නේ ගිනිඅවිය මැදමුලන ආසන්නයේ තැනකට ගෙනැවිත් දමා ඇති බවටය. කජ්ජාගේ වැඩිමහලු පුතු පදිංචි වී සිට ඇත්තේද වීරකැටිය මැදමුලනේ ය. මැදමුලනේ ඇත්තේ ඔහුගේ සීයාගේ නිවසය. පුතු එහි සිටින්නේ කජ්ජා මියගිය පසු පුතුගේ භාරකාරීත්වය සීයාට හිමිව ඇති නිසාය. කජ්ජාගේ බිරියද බොහෝ කලකට පෙර වෙනතක් බලාගෙන සිටියාය.
ඒ අනුව කජ්ජාගේ පුතු ගිනිඅවිය රැගෙන ගොස් ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේ පැවැති පියාගේත් සහෝදරයන්ගේත් අවුරුද්දේ දානයට දින කිහිපයකට පෙරාතුවය. නිවෙසට රැගෙන ගිය ගිනිඅවිය ඔහු සඟවා ඇත්තේ බෆල් එක තුළය. එකල බෆල් එක තිබී ඇත්තේ සීයාගේ නිවසේ ය. අනතුරුව මිතුරාගේ නිවසට බෆල් එක රැගෙන ගොස් ඇත්තේ සීයාගේ නිවසේ සිටය.
පොලිසිය සඳහන් කරන ආකාරයට ‘බෙලි රනා’ නමැති අපරාධකරු කජ්ජාගේ වැඩිමහලු පුතු තමන්ගේ අපරාධ ජාලයට සම්බන්ධ කරගැනීමට මාන බලමින් සිට ඇත. ඒ බොහොදුරට ‘බෙලි රනා’ගේ විරුද්ධවාදීන් ඝාතනය කරන්නට කජ්ජාගේ පුතා යොදාගැනීමේ අරමුණෙන් විය හැකිය. ඊට හේතුව ඔහු තවමත් බාලවයස්කාරයකු වීමය. එවිට ඔහු ගැන පොලිසිය සේම අපරාධකරුවන් ද එතරම් තැකීමක් නොකරකු ඇතැයි ‘බෙලි රනා’ සිතුවා විය හැකිය.
කජ්ජාගේ වැඩිමහලු පුතු මීට පෙරද සමාජයේ වැඩිපුර කතාබහට ලක්විය. ඒ රගර් ක්රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට කජ්ජා සම්බන්ධ බවට වූ රාවය හේතුවෙනි. එදා දාසය හැවිරිදි වියෙහි පසුවූ කජ්ජාගේ වැඩිමහලු පුතු ෆේස්බුක් සමාජ මාධ්යයේ අදහස් පළ කරමින් තාත්තා වෙනුවෙන් හඬු නැඟුවේය. ඔහු එදා චෝදනා එල්ල කර තිබුණේ තමාගේම අම්මාටය.
කෙසේ නමුදු පොලිසිය පෙන්වා දෙන්නේ තමා ළඟ ගිනිඅවියක් තබාගෙන සිටීම පිළිබඳව කජ්ජාගේ වැඩිමහලු පුතු දිගු කාලයක් තිස්සේ බියෙන් පසුවෙමින් සිට ඇති බවයි. ඒ මන්දයත් කොයි මොහොතක හෝ තමන් පොලිසියට හසුවේ යැයි ඔහු සිතූ නිසාය.
තංගල්ල කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුන දෙහිගමගේ ගේ උපදෙස් අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත, පොලිස් සැරයන්වරුන් වන මංජුල (44974), උදයංග (19894), ඉරේෂ් (61929), පොලිස් කොස්තාපල්වරු වන ප්රතාපසිංහ (79437) සහ වීරසේකර (36847) යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

