brand logo
logo
පෙම්වතිය සමග ජංගල් බීච් ගිය සිසුවා දින 15ක් තිස්සේ අතුරුදන්

පෙම්වතිය සමග ජංගල් බීච් ගිය සිසුවා දින 15ක් තිස්සේ අතුරුදන්

02 April 2024



පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගීවීමට ගිය 17 හැවිරිදි සිසුවෙකු දින 15ක් තිස්සේ අතුරුදන්වී ඇතැයි ඔහුගේ ඥාතීන් පවසයි.


එම සිසුවා, සිය 21 හැවිරිදි පෙම්වතිය සමග මුහුදු වෙරළට ගොස් සිටියදී රළ පහරකට හසුවූ බව පෙම්වතිය පොලීසියට පවසා ඇතත් සිසුවාගේ ඥාතීන්ට ඒ පිළිබඳ සැක මතුවී තිබේ.


ඒ අනුව ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ පදිංචි සෙනුක දේශාන් නම් සිසුවෙක් පසුගිය මාර්තු 18 වනදා සිට අතුරුදන්ව සිටී.


ඔහු එදින පෙරවරුවේ සිය නිවසින් පිටව ගොස් තිබුණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවකට සහභාගී වන බව මවට පවසමිනි.


පසුව හෙළිවී ඇත්තේ 17 හැවිරිදි සෙනුක සිය 21 හැවිරිදි පෙම්වතිය සමග සවස් කාලයේ ගාල්ල ජංගල් බීච් වෙත ගොස් ඇයගේ උපන්දිනය සමරා ඇති බවය.


අදාළ තරුණිය ප්‍රකාශ කර ඇත්තේ, ජංගල් බීච් හි රැඳී සිට ආපසු පැමිණීමට සූදානම් වෙද්දි එක්වරම පැමිණි රළ පහරකට ඔවුන් දෙදෙනා මුහුදට ඇදවැටුණු බවය.


තමන් ඉන් බේරුණු නමුත් පෙම්වතා දියේ ගිලුණු බව ඇය පොලීසියට පවසා තිබුණි.


කෙසේවෙතත් අවස්ථා කිහිපයකදී සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිළි කර ඇති සෙනුකගේ ඥාතීන්ට පෙම්වතිය පවසන කරුණු පිළිබඳව පවතින්නේ සැකයකි.


මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හබරාදූව පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවය.


ඒ අනුව මේ දක්වා කිසිදු අපරාධමය වරදක් සම්බන්ධයෙන් අනාවරණවී නොමැති බවද පොලීසිය පවසයි.

 

More News..