ඩෙංගු එන්නත ලංකාවට එනවාද?
01 August 2026 | හර්ෂණී දිසානායක
ඩෙංගු එන්නත ලංකාවට එනවාද?
01 August 2026 | හර්ෂණී දිසානායක
ඩෙංගු ගැන කතා කරන හැම මොහොතකම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන තවත් කතාවක් ඇත්තේය. ඒ, ‘ඩෙංගු මාරාන්තිකයි’ යනුවෙනි. ඩෙංගු මාරාන්තික වීමට එක හේතුවක් වන්නේ එම රෝගයට ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොතිබීම නිසාය. ඩෙංගු රෝගයේ භයානකකම මේ දිනවල වැඩියෙන් දැනෙන්නේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තයන් ගැන කල්පනා කර බලන විටය.
ජූලි තිස් වැනිදා වන විට රටේ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසූ හතර දහසේ සීමාව ඉක්මවා ගොසිනි. ඩෙංගු හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවත් හැට එකක් දක්වා වර්ධනය වී තිබිණි. එපමණක් නොව, ඩෙංගු අධි අවදානම් කලාප එකසිය හැත්තෑ පහක් දක්වා වර්ධනය වී ඇත.
ඉදිරියේදී වර්ෂා කාලයේ වෙනසක් වන බැවින් තව තවත් ඩෙංගු අවදානම වැඩිවනවා මිස අඩුවන්නේ නැත. එහෙයින් ඊට කල් තියා සූදානම්වීම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සහ ඩෙංගු මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට රුකුලක් වනු ඇත.
මේ දිනවල ඉන්දියාව පැත්තෙන් ඩෙංගු මාරයා හා සටන් කළ හැකි එන්නතකට මහජන භාවිතයට අනුමැතිය දුන් පුවතක් ගැන රටම කතාවේ. එලෙසින් ඉන්දියාවේ ඖෂධ පාලක අධිකාරිය අනුමැතිය දුන්නේ ජපානයේ නිෂ්පාදිත ‘QDENGA’ එන්නතයි. ටකේඩා ෆාමසූටිකල් ආයතනය නිෂ්පාදනය කරන ලද මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය හිමිව තිබිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර ඇති දත්ත අනුව මදුරුවන්ගෙන් බෝවන රෝග අතර විශාල ලෙස ආසියාවේ ව්‍යාප්ත වන රෝගය ලෙස වාර්තාවන්නේ ඩෙංගුය. එය අසල්වැසි ඉන්දියාව දෙසින් ගණන් බැලූ විට එරට ජනගහනයෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සෑම වසරකදීම ඩෙංගු රෝගයට ගොදුරු වේ. එපමණක් නොව, 2024 වසරේ දත්තයන්ට අනුව ඩෙංගු රෝගය වැලඳී මියගිය ඉන්දියානුවන් සංඛ්‍යාව දෙසීය තිස් තුනකි.
ඩෙංගු වයිරසයේ ලෝක ව්‍යාප්තිය දෙස බැලූ විට 2024 දී පමණක් පුද්ගලයන් මිලියන දාහතරකට ආසන්න පිරිසක් ඩෙංගු වයිරසයට ගොදුරු වූ අතර තවත් එකොළොස් දහසකට වැඩි පිරිසක් ඩෙංගු වයිරසය නිසාම මියගියහ. මෙවැනි දරුණු වසංගත තත්ත්වයට එරෙහිව නැගී සිටිය හැකි එන්නතක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය කාල වකවානුවේදී දැඩි අවධානයක් යොමු කර තිබිණි. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්තේ ජපානය ඩෙංගු වයිරස හා සටන් කර හැකි එන්නතක් අත්හදා බලමින් සිටින බවයි.
එය ජපානය යැයි කීවාට එය අත්හදා බැලුවේ ජපානයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන ටකේඩා ෆාමසූටිකල් ආයතනය විසිනි. මේ ආයතනය 2019 වසරේ සිට 2024 වසර දක්වා විටින් විට ‘QDENGA’ එන්නත විවිධ වූ පර් යේෂණයන්ට සහ අත්හදා බැලීම්වලට යොදා ගනිමින් එහි සඵලතාව සම්බන්ධයෙන් පර් යේෂණයන් කර තිබිණි. අවසානයේදී මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයනයට යොමු කර ඉන් පසුව ඔවුන්ගෙන් අනුමැතිය ලබාගෙන තිබිණි.
මෙම එන්නත සම්බන්ධයෙන් ලෝකයේ රටවල් හතළිස් තුනක් සිය රාජ්‍යයන්හි ඩෙංගු වයිරස රෝගී ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා මහජන භාවිතයට අවසර දී තිබිණි. මේ ගැන ඉන්දියාවේ අවධානය යොමු වන්නේ මෑතකදීය. ඊට හේතුව වන්නේ ඉන්දියාවේ ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වසරෙන් වසර ඉහළ යන නිසාය. 2024 වසර සැලකිල්ලට ගත් විට මේ වන විට ඉන්දියාවේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය සියයට එකොළහකින් වර්ධනය වී තිබිණි. මේ හේතුවෙන් ඩෙංගු වයිරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා ගත හැකි එක් විසඳුමක් ලෙස ඔවුන් ජපානයේ ‘QDENGA’ එන්නත සම්බන්ධයෙන් පර් යේෂණ ආරම්භ කළේය. එහිදී ඉන්දියාවේ ඩෙංගු වයිරසය වේගයෙන්ම ව්‍යාප්ත වන කලාපවලට අයත් පුද්ගලයන් විසි අටදහසක් තෝරාගෙන පළමු දෙවන සහ තුන්වැනි මට්ටමේ සායනික පරීක්ෂණ දහනවයක් කර තිබිණි. එහිදී වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇත්තේ එන්නත දුන් කලාපයන්හි ජීවත් වන පිරිස අතර ඩෙංගු වයිරස ව්‍යාප්තිය වේගයෙන් ව්‍යාප්ත නොවන බවයි. එහි යම්කිසි පාලනයක් ඇති බව අධ්‍යයනවලින් අනාවරණය වීමෙන් පසු ඉන්දීය ඖෂධ අධිකාරිය විසින් මේ එන්නත වයස අවුරුදු හතරත් හැටත් අතර පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම උදෙසා මෙම එන්නත භාවිත කිරීමට අනුමැතිය ලබාදී තිබිණි.
ඒ වගේම ‘QDENGA‘ එන්නත ඩෙංගු වැලඳුණු හෝ නොවැලඳුණු ඕනෑම අයකුට මෙය ගත හැකි බවත් පැවසේ. කෙසේ වෙතත් මෙම එන්නත ගත යුතු ආකාරය ගැනත් වෛද්‍ය නිර්දේශ ඇත්තේය. එනම්, ‘QDENGA’ එන්නතින් මිලිලීටර් 0.5 එන්නත් මාත්‍රා දෙකක් මාස තුනක පරතරයක් ඇතිව ගත යුතුය. ඒ කියන්නේ පළමු එන්නත එන්නත් කර තවත් මාස තුනකින් දෙවැනි එන්නත ගැනීමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව ඩෙංගු වයිරස සමන්විත වන DEN 1, DEN 2, DEN 3 සහ DEN 4 හා වයිරස කාණ්ඩ හතර සමගින් සටන් කිරීමටත් මේ එන්නතට හැකියාවක් පවතින බවත් තහවුරු වී ඇත. එහෙයින් වර්තමානය වන විට ඉන්දියාවට මෙම එන්නත ආනයනය කිරීමට පියවරගෙන ඇති බවත් 2027 වසර වන විට ඉන්දියාවේම මේ එන්නත නිෂ්පාදනය කර ඉන්දියාව පුරා බෙදා හැරීමට කටයුතු කරන බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කර තිබිණි.
‘QDENGA’ එන්නත ඉන්දියාව කවදා කොතැන කෙලෙස නිශ්චිතවම භාවිතයට ගන්නේදැයි කියා තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. ඒත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම එන්නත් මාත්‍රාවක් ඉන්දීය රුපියල් තුන් දහසක් හෝ හය දහසක් අතර මුදලකට මිලදී ගත හැකි වේ යැයි පුරෝකථනය කෙරේ. වර්තමානයේ පවතින විනිමය අනුපාත අනුව එය ශ්‍රී ලංකා රුපියල්වලින් නම් 10523 ටත් වඩා වැඩිය. රජය මගින් මේ එන්නත ඉන්දියාව පුරා නොමිලේ බෙදා හැරීමට සූදානම් වන බවක් නම් මේ වනතෙක් තහවුරු කර නොමැත. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ මේ එන්නත පෞද්ගලික රෝහල් හරහා මිලදී ගැනීමට කැමති පුද්ගලයන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිත බවයි.
කෙසේ වෙතත් ‘QDENGA’ එන්නත මෙරට භාවිතයට ගන්නේදැයි කියා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) අධ්‍යයනය කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසා තිබිණි. එලෙස අධ්‍යයනයන් කර අනුමැතිය දුන්නත් එය භාවිතයට ගන්නට හැකිවන්නේ පෞද්ගලික අංශයෙන් බවත් ඔහු පෙන්වා දී ඇත. රජය මේ ඖෂධය මිලදීගෙන රෝහල් වෙත බෙදා හැරීම ඒ කටයුතු නොකරන බවත් එන්නත අවශ්‍යයි සිතන පුද්ගලයන්ට එය පෞද්ගලික රෝහල්වලින් ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩෙංගු මර්දන එන්නත් මගින් මූලිකව කරන්නේ ඩෙංගු වයිරසයෙන් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණය වර්ධනය කරනවා විනා ඩෙංගු ලංකාවෙන් තුරන් කිරීමට උපකාරී වීමම නොවේ. එහෙයින් ඉන්දියාවේ පවා වෛද්‍ය නිර්දේශය වන්නේ ඩෙංගු මර්දන එන්නත් භාවිතයට පෙර ඩෙංගු වයිරසය බෝ කරන මදුරුවන් පාලනය කිරීමට කටයුතු කළ යුතු බවයි. එසේ නොවන්නට එන්නත් පිට එන්නත් දහසක් එන්නත්කරණය කළත් ඩෙංගු පැතිරීම නැවැත්විය නොහැකි බවයි.

