brand logo
logo
අරාබි අහසේ ඉන්දීය නියමුවාගේ වීර වික්‍රමය

අරාබි අහසේ ඉන්දීය නියමුවාගේ වීර වික්‍රමය

03 October 2026

ඩුබායි සිට අහසට නැගගත් F2 F 1073 දරන ගුවන් යානාවේ ගමනාන්තය වූයේ ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන්ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළය. ‘‘ප්ලයි ඩුබායි’’ ගුවන් සේවයට අයත් යානය ඒ වන විටත් පැය දෙකහමාරකට ආසන්න කාලයක් අහසේ පියාසර කරන්නට විය. බොහෝ මගීහු සිටියේ සුව නින්දකය.


එක විට යානයේ පද්ධති අක්‍රියවන්නට විය. විදුලිය බිඳ වැටෙන්නට විය. යානය මිනිත්තු දෙකක් ඇතුළත මගීන්ට නොව යානයේ කාර්ය මණ්ඩලයට ද සිතාගත නොහැකි පරිදි පහළට කඩා හැලෙන්නට විය. අඩි දාහක් දාහක් පහළට! සමහර වාර්තා අනුව ඊටත් වඩා පහළට !


මේ වෙන්නේ කුමක්ද ? යානය තුළ එකම මරලතෝනියකි. දෙවියන් හැර කිසිවකු මගීන්ට සිහිපත් වූයේ නැත. මේ සිදුවීම් අතර යානයේ සිටි නීනා මානෙස් නමැති සය හැවිරිදි කුඩා දැරිය ඇගේ මව වන තාලි මානෙස් සමග ගොස් සිටියේ වැසිකිළියටය.


‘‘අම්මේ ! ප්යිලට්ගේ කුටිය ඇතුළෙන් අමුතු කෑගැහිල්ලක් ඇහෙනවා. ඒක හරි වෙනස්.’’

ඇය තම මවට පැවසුවාය. ඇයද උනන්දුවෙන් සවන් දුන්නාය. නියමු කුටිය ඇතුළෙන් ඇසුණේ මරළතෝනියකි! මගීන් කැඳවන ආයාචනයකි. නීනාගේ මව මේ පිළිබඳ වහා ගුවන් සේවිකාවකට පැවසීය. කුටියට එබුණු ඇය දුටුවේ රුධිරය ගලමින් සිටින නියමුවා සහ පිහියෙන් ඇන ඔහු මරා දැමීමට තැත්කරමින් සිටි උපනියමුවාය. නීනාගේ මව ඇගේ ස්වාමිපුරුෂයා පුරුෂයා වන ට්ස්වික්ට සිදුව තිබෙන දේ කෑගසා කීවේය. ඉන් පසු ඔහු ඇතුළු පිරිසක් කුටිය ඇතුළට ගොස් උප නියමුවා ග්‍රහණයට ගත්හ. මගීන් අතර සිටි බ්‍රිතාන්‍ය ජාතික ගුවන්නියමුවෙක් යානය පාලනය කළේය. එසේම මගියකු වූ වෛද්‍යවරයෙක් නියමුවාට ප්‍රතිකාර කර රුධිර වහනය නතර කළේය.

යානිව් හයුන් යනු මගීන් අතර සිටි ඊශ්‍රායල ජාතිකයකි. හෙතෙම සැප්තැම්බර් 30 දා ඒ සිදුවීම ඊශ්‍රාල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට පැහැදිලි කළේ මෙසේය.

"මම ප්‍රහාරකයා අල්ලාගෙන, හුස්ම හිරකර තබා, මුලින්ම එළියට ඇදගෙන ගියා,

"ඔහු යානය අක්‍රිය කිරීමට උපකරණ විනාශ කිරීමට උත්සාහ කරමින් සිටියා.

තවත් මගියකු වන මිරියම් ෂිරා ඔහයොන්, ටෙල් අවිව් ගුවන්තොටුපළේදී ඇගේ මවගේ දුරකථනය මගින් වාර්තාකරුවන්ට පැවසුවේ, ගුවන් නියමුවකු "මූලික වශයෙන් ගුවන් යානය තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට" උත්සාහ කළ බවත්, "එය සැබවින්ම අනතුරකට ලක්වීමට ආසන්නව තිබූ" බවත්ය. යානයේ සිටි වෛද්‍යවරයකු තුවාල ලැබූ නියමුවාට ප්‍රතිකාර කළ බවත් ඇය පැවසුවාය.

කෙසේ වෙතත් යානය කඩාවැටීමට ඉඩ නොදී සවුදි අරාබියේ ටාබුක් ගුවන්තොටුපළට ගොඩ බෑමට හැකිවීම හේතුවෙන් සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකි විය. තුවාල වී තිබුණේ නියමුවන් දෙදෙනාට පමණි. සමහර ආරංචි මාර්ග අනුව කාර්යමණ්ඩලයේ දෙදෙනකුද රෝහල් ගතකර තිබේ. ඉන්පසු ඊශ්‍රායල ජාතිකයන් වෙනත් ගුවන් යානයකින් ඊශ්‍රායලය බලා ගමන් කර තිබිණි.

"ප්‍රහාරයට ලක් වූ ප්‍රධාන නියමුවා වන ඉන්දීය ජාතික ස්මිත් මච්චාර් (38) පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබුවද, ඔහු ආපසු සටන් කළේය, විරුද්ධ විය, නියමු කුටියේ දොර විවෘත කළේය, මගීන්ට සහ කාර්ය මණ්ඩලයට ප්‍රහාරකයා පරාජය කිරීමට හැකි විය. ගුවනේදී සිදුවිය හැකි ව්‍යසනයක් වළක්වා ගත්තේය," ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එසේ පැවසුවේ යානයේ සිටි 174 දෙනකු බේරා ගැනීමේ ගෞරවය ඔහුට දෙමිනි. ඉන්දීය ජාතික ගුවන් නියමු ස්මිත්, මුම්බායි ප්‍රදේශයේ උපන්නෙකි. ව්‍යාපාරික පවුලක සාමාජිකයකු වන ඔහු මුලින් කටයුතු කළේ ඇඳුම් මෝස්තර ශිල්පියකු හැටියටය. ඒ පවුලේ ව්‍යාපාර ඉහළ නැන්වීම සඳහාය. එසේ වුවද වයස 19 දී පමණ ගුවන් නියමු ක්ෂේත්‍රය පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වූ ඔහුගේ හිත ගුවන් නියමුවකුවීම කෙරෙහි යොමුවිය. ඒ අනුව ගුවන් නියමුවකු හැටියට ක්ෂේත්‍රයට පැමිණි හෙතෙම පළමුව සේවය කළේ ‘‘ස්පයිස් ජෙට්’’ නමැති වාණිජ ගුවන් සමාගමෙහි නියමුවකු හැටියටය. එහි ඔහු වසර 11ක් පමණ සේවය කර තිබේ. අනතුරුව ස්මිත් ‘‘ප්ලයි ඩුබායි’’ ගුවන් සේවයට එක්වී තිබේ. ගුවන් නියමුවකු හැටියට ඔහුගේ සම්පූර්ණ සේවා කාලය වසර 15ක් පමණි. ඔහු ගුවනේ පියාසර කළ කාලය පැය 9,750කි.

"මම නියමු කුටියෙන් හෝ ගුවන් යානයෙන් එළියට එනකොට, මම නියමුවෙක් කියලා අනිත් කෙනා දැනගන්නවට මම කැමැති නැහැ,"

වෙනස් විදියේ මිනිසකු වන ස්මිත් මච්චාර් වරක් එසේ සඳහන් කර තිබිණි. මාරාන්තික පිහි ඇනුමකට ලක්වුවද මගීන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා කටයුතු කළ ඔහු දැන් ජාත්‍යන්තර වීරයකි. ඔහුගේ පුහුණුව සහ කැපවීම ඉතා විශිෂ්ට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඔහුට තමන්ගේ ජීවිතය පමණක් නොව මගීන්ගේ ජීවිතය ද බේරා ගැනීමට හැකි වූයේ නියම කපිතාන්වරයකු හැටියට කටයුතු කිරීම නිසා බව සඳහන් කළ යුතුය.

ඒ කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළ බවට සැක කරන උපනියමුවා පිළිබඳ හරි හමන් තොරතුරක්, නිශ්චිත අදහසක් ජාත්‍යන්තර මාධ්‍යවල නොමැත. සාමාන්‍ය තොරතුරු අනුව ඔහු ඕමාන ජාතිකයකි. එහෙත් ඔහුගේ ඕමාන සම්භවය තහවුරු කිරීමට තවම ඕමාන රජය ක්‍රියා කර නොමැත. ඔහු ‘‘ලයි ඩුබායි’’ ගුවන් සේවයට බැඳී ගතව තිබෙන්නේ වසරකට වඩා අඩු කාලයකි. ඔහු එයට පෙර සේවය කර තිබෙන්නේ කවර ස්ථානවලද ? ඔහුගේ පියාසැරි පැය ප්‍රමාණය කොපමණද යන තොරතුරු ද පැහැදිලි නැත. ප්‍රහාරකයා පිළිබඳ පළවන තොරතුරු ද පරස්පරය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ ඔහු ඉරාන වුවමනා එපාකම් මත කටයුතු කළ කෙනකු විය හැකි බවය. ඊශ්‍රාල අගමැතිවරයා ඔහු පිළිබඳ නිශ්චිත යමක් සඳහන් කිරීමට ඉක්මන් නොවිය යුතු බව එක් තැනක සඳහන් කර තිබුණද තවත් තැනක ඔහු උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ ඔහු ඉස්ලාම් මූලධර්මවාදිකරණයට ලක්වූ පුද්ගලයකු බවට තොරතුරු තිබෙන බවය. එසේම ඊශ්‍රායල් ආරක්ෂක ඇමැති ඊශ්‍රායල් කැට්ස් නම් සඳහන් කරන්නේ ඔහු ජිහාඩ්වාදියකු බවය. නම හෙළි නොකළ ඊශ්‍රායල මූලාශ්‍රයක් සඳහන් කර තිබුණේ ප්‍රහාරකයා මරාගෙන මැරෙන්න පුහුණු වූ ඉස්ලාම් මූලධර්මවාදියකු බවයි. ඔහුගේ ඉලක්කය යානයෙහි සිටි මගීන් 174ගෙන් වැඩි ගණනක් වූ ඊශ්‍රායල ජාතිකයන් මරා දැමීම බව එකී මූලාශ්‍රය සඳහන් කරයි.

ඒ කතාව අපට සිහි කරන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයය. 2001 සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයේ මහ මොළකරු වූයේ ඉස්ලාම් අන්තවාදියකු වූ ඔසාමා බිල්ලාඩන්ය. දැන් ඕමාන උප නියමුවා ගැනද කියැවෙන්නේ එවැනි කතාවකි.

එසේ වුවත් ඊශ්‍රායල විපක්ෂය මේ පිළිබඳ හෙළනුයේ සැක මුසු බැල්මකි. එයට හේතුව ඔක්තෝබර් මාසයේ ඊශ්‍රායල මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එයට දින කිහිපයකට පෙර ඊශ්‍රායල අගමැතිවරයා මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් මැතිවරණය ඉලක්ක කරගෙන සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමය. අගමැතිවරයා එය ප්‍රකාශ කර වැඩි දිනක් ගතවීමට පෙර ගුවන් යානය පැහැර ගැනීමේ හෝ එය විනාශ කිරීමේ වෑයම පිළිබඳ කතාව එළියට ආවේය. විපක්ෂය කල්පනා කරනවා ඇත්තේ මෙම සිදුවීම මහ මැතිවරණයට පෙර ඊශ්‍රායල ජනතාව බියපත්කර තමන්ගේ පැත්තට වැඩි ඡන්ද ප්‍රමාණයක් යොමුකර ගැනීම සඳහා අගමැතිවරයා ප්‍රධාන දක්ෂිණාංශික ආණ්ඩුව රඟ දැක්වූ නාට්‍යයක් ලෙස විය හැකිය. සාමාන්‍යයෙන් මැතිවරණවලට පෙර මෙවැනි ආකාරයේ සිදුවීම් මතුවීම සුලභ දෙයක් බව පසුගිය කාලයේ ලෝක දේශපාලනය දෙස අවධානය යොමු කරන විට අපට තේරුම් ගත හැකිය. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන් ඉලක්ක කර එල්ලවන විට ඉන්දියාව මහ මැතිවරණයට සූදානමින් සිටියේය. ඉන්දියාවේ ගෝවේ බහුතර කතෝලික ඡන්ද පාස්කු ප්‍රහාරය හේතුවෙන් අගමැති මෝදිට වැටුණු බව සමහර විචාරකයෝ සඳහන් කරති.

ගුවන් යානය අනතුරක බවත් පසුව එය පැහැර ගැනීමට ලක්විය හැකි බවටත් අනතුරු ඇඟවීමේ සංකේත නිකුත් කළ විට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ගුවන් ගතවූයේ යානය තුන්වැනි පාර්ශ්වයේ රටකට රැගෙන යාම සහ එය ඊශ්‍රායලයට සැලසුම් සහගත ප්‍රහාරයක් සේ කඩා වැටීම වැළැක්වීමට ය. සමහර ආරංචි මාර්ග අනුව යානය බේරා ගැනීම සඳහා ඊශ්‍රායල හමුදා සාමාජිකයන්ද සහභාගි වී තිබේ. එමගින් පැහැදිලි වන්නේ යම් පූර්ව සූදානමක් තිබුණු බවද? ඊශ්‍රායල හමුදා ප්‍රධානියා සහ එක්සත් ජනපද අණදෙන ප්‍රධානියා අතර හමුවක් කලින් සැලසුම් කර තිබුණද මෙකී සිදුවීමෙන් පසු එයද කල් දමා තිබේ.

 

More News..