සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අදාළ රජයේ ස්ථාවරය සඳුදා දැනුම් දීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
05 November 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අදාළ රජයේ ස්ථාවරය සඳුදා දැනුම් දීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්
05 November 2026
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම්වලට අදාළව රජයේ ස්ථාවරය ලබන සඳුදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබේ.
එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 26 ක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීය වන තෙක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග විය.
ඊයේ පෙරවරුවේ සිට පෙත්සංකාර පාර්ශ්වයේ නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරිම සිදු කළ අතර එම කරුණු දැක්වීම් ඊයේ රාත්‍රීය දක්වා සිදුකෙරුණි.
ඉන් අනතුරුව විනිශ්චයට භාජනය වෙමින් තිබෙන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය හා ඊට අදාලව සිදු විය යුතු සංශෝධන ඇතුලත් ලිඛිත දේශන අද (05) දිනය තුළ ගොනුකරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සංකාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළහ.
ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල පිළිබඳ රජයේ ස්ථාවරය ලබන සඳුදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව විසි හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රශ්නගත විධිවිධාන සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා සමග සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.

