මගීන් 50 ක් බේරාගත් පස් යහළු වික්‍රමය
08 August 2026 | ජයසුරිය උඩුකුඹුර
මගීන් 50 ක් බේරාගත් පස් යහළු වික්‍රමය
08 August 2026 | ජයසුරිය උඩුකුඹුර
ගිය සතියේ යළිත් වරක් කඳුකරයට වැස්සේය. නොනවත්වාම වරු ගණනක් වැස්සේය. මොර සූරන වැසි වැටෙද්දී කඳුකරයේ ගම්මුන්ට මතක් වූයේ හත්අට මාසයකට පෙර මහා විනාශයක් කළ දිට්වා සුළි කුණාටුවය. එදා සේම මෙදාත් කොත්මලේ ජලාශය පිරී ඉතිරී පිටාර ගැලුවාය. ඇද හැලෙන මහ වැසි දරා ගැනීමට නොහැකිව ගංගා, ඇළ දොළවල් දෙගොඩ තළා යන්නට පටන් ගත්තේය. නාවලපිටිය හැටන් පාර හරහා වැටී ඇති කහවතුරඔය එක්වරම දුඹුරු පැහැති මහ වතුරක් රැගෙන මහ පාරවල් යට කරගෙන ගලන්නට පටන් ගත්තේය.
ඒ ඉකුත් දෙවැනිදාය. දහවල් වන විට කහවතුරඔයේ අඹගමුව වෙල්යාය යටකර වෙල්යාය හරහා වැටී ඇති නාවලපිටිය හැටන් මාර්ගයේ වාහන ගමනාගමනය නතර කළේය. දිනපතා පෙ.ව.10.30ට නාවලපිටියෙන් ගිනිගත්හේන දක්වා ගමන් කරන ශ්‍රී ලංගම බස් රථය එදිනද ඒ අතරේ යන්නට පිටත් වුයේ මගීන්ද පුරවා ගෙනය. එදින ධාරානිපාත වර්ෂාව ඇදහැලුණත් රියදුරු තම රාජකාරිය දේවකාරියක් කර ගෙන මගීන් සමග නියමිත වේලාවට නාවලපිටියෙන් පිටත් විය. අංක NA - 4742 බස්රථය අඹගමුව කඩවීදිය පසු කර කුඹුරු යාය මැදින් වැටී ඇති පාරේ ඉදිරියට යමින් තිබුණේය. එකවරම කහවතුරඔය බෝක්කුව අසලදී පාර පෙනෙන නොපෙනන තරමට මහ ජල කඳක් ආවේය. එතැන තරමක පහත් තැනක් වූයෙන් රියැදුරු වහා බසය බෝක්කුව පසු කර ධාවනය කරන්නට උත්සහ කළද බෝක්කුව අසලදී බසය ලිස්සා පාරෙන් ඉවත බෝක්කු කණුවක වදිනවා රියැදුරුට දැනිණ. ඒ වන විටත් කහවතුරඔය ජල කඳ බසයේ ටයර් යටකර ගනිමින් තිබිණ. රියැදුරු බසය ඉදිරියට ගන්නට උත්සහ කළත් එය ව්‍යාර්ථ වූයේ බසයේ පසු පස වම්පස රෝදය බෝක්කුවේ ගාඩ් ගලකට හිර වී තිබුණ නිසාය. කිසිවක් හිතා ගන්නටත් පෙර ජල කඳ බසය තුළටද ගලා එන්නට විය. මගීන් මර ළතෝනි දී තමන් බේරා ගන්නැයි කෑමොර දුන්නේය.
අසල සිටි කිසිවකුටවත් බසය අසලට එන්නට හෝ බසයේ සිටි අයට ඉන් බැස ගන්නට හැකියාවක් නොතිබිණි. කහවතුරඔය ප්‍රචණ්ඩ වී බසයද ගිලගනිමින් තිබිණි. දිට්වා සුළි කුණාටුව හැමූ මොහොතේ කලා ඔයේ ප්‍රචණ්ඩ ජල කඳට හසුවූ බසය මගීන්ට සිහිවිය. එදා වරු ගණනක් යනතුරු ත්‍රිවිධ හමුදාවටත් මගීන් බේරා ගැනීමට අපහසු වූවේය. එම පිරිස බේරාගැනීමේ මෙහෙයුම අවසානයේදී ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිද්ධ විය. එනමුත් කහවතුර ඔයේ සැඩ ජල පහරට හසුවූ බසයේ මගීන් බේරා ගැනීමට පේන තෙක් මානයේ කිසිවෙක් සිටියේ නැත. බසය ගිල ගත් මහ ජල කඳ ටිකෙන් ටික වැඩිවෙද්දී මරුවාගෙන් බේරීමට තම ආගම ඇදහීම හැර වෙන දෙයක් මගීන්ට ඉතිරි වී තිබුණේ නැත.
චමිල් දර්ශන බලන්තොට ගමේ ට්‍රිපර් රථ රියැදුරෙකි. ඔහු ඒ වන විට සිටියේ අඹගමුව කඩවීදියේය. මගීන් සමග බසය ජල රකුසාට බිලි වෙමින් තිබෙන බව ඇසූ ඔහු දෙවරක් නොසිතුවේය. එවෙලේ ඔහු සමග සිටි තම ඥාති පුතෙකු වූ කසුන් දිල්ෂාන් සමග අසල්වැසි ප්‍රදීප් මදුසංක, විදුර විශ්වනාත් හා කසුන් ඩිල්ෂාන් යන අයටද කතා කර ට්‍රිපර් රථයේ නංවා ගෙන ඔහු බසය ළඟට ගියේ ගංවතුරට හසුවෙමින් තිබූ සිය දේපළද අමතක කරමිනි. එතැන් සිට කතාව චමිල් දර්ශන අපට කීවේ ඔවුන් බස් මගීන් ගේ ජීවිත බේරා ගත් අඹගමුව කහවතුර ඔය හරහා ඉදිකර ඇති බෝක්කුව අසලදී ගංවතුර බැස ගිය පසුව එතැනට ගොස් සිටියදීය.
"ඔය සිද්ධිය වූ දවසේ ධාරානිපාත වැස්ස නිසා අපට වෙන වැඩක් කර ගන්නත් බැරිව මම ගෙදරට වෙලා හිටියේ. ඒ වෙලාවේ තමයි මට යහළුවෙක් කතා කරලා කීවා අඹගමුව කහවතුරඔය පිටාරගලලා පාර මාරු වෙන්න බැරිව පිරිසක් අතරමං වෙලා කියල. ඒ අය බේරා ගන්න එන විට තමයි බස් එක මගීන් එක්ක ජල කඳට යට වෙමින් තිබෙනවා කියල දැන ගන්න ලැබුණේ. අඹගමුව කඩවීදියේ සිට කහවතුර ඔයට ඇත්තේ ඉතාම කෙටි දුරක්. කහවතුරඔය දෙපස තිබෙන කුඹුරු යාය ප්‍රධාන මාර්ගයට වඩා අඩි හතඅටක් පහළින් තමයි තිබෙන්නෙ. ඒ වෙල්යාය යටකර ප්‍රධාන මාර්ගයත් යටකර ජලකඳ ඉස්සෙමින් තිබියදී තමයි බසය එතැනින් ධාවනය කරන්න උත්සහ කර තිබෙන්නෙ. අවාසනාවකට බසය ලිස්සා පාරෙන් ඉවත තිබූ බෝක්කු කණුවක පිටුපස වම් රෝදය හිර වීමෙන් බසය ඉදිරියට හෝ පසුපසට ගන්න බැරිව රියැදුරු අසරණ වෙලා. වතුර වැඩිවෙද්දි මගීන් මරළතෝනි දුන්නා. ඒ විලාපය අඹගමුව කඩ වීදියට ඇහුණා. මම වහාම මගේ ට්‍රිපර් රථයට කඩවීදියේ සිටි මගේ ඥාති පුතකු හා ඔහු ගේ මිතුරන් තිදෙනෙක් එක්ක මහ වැස්සේ බසය නතර වී ඇති බලන්තොට මේ අපි දැන් ඉන්න බෝක්කුව අසලට ආවා.ඒ වන විටත් ජලකද මගේ ට්‍රිපර්රථයේ තට්ටුව මට්ටමට ඉස්සී තිබුණා. බසය තුළ හිටපු හැමෝම දැස්වල කඳුළු පුරෝගෙන ළතෝනි දෙනවා. අපි ඒ අය සන්සුන් කරලා රියැදුරු හා කොන්දොස්තර මහත්වරුන් ගේද සහය ඇතිව හැම දෙනාම පරිස්සමින් ට්‍රිපර් රථයේ තට්ටුවට නංවා ගත්තා. පිරිස වැඩි නිසා උක්දඬු පැක් කරා වගේ තමයි කට්ටිය හිටියේ. ඒ අය ආරක්ෂා කරමින් මා සමග ගිය අය තට්ටුවේ හතර කොන එල්ලිලා වගේ තමයි පිරිස ජලකඳ පරයා පිටතට ගත්තෙ. ඒ වෙලාවේ අපේ හිතට ආව හයිය නිසා මේ පිරිස බේරා ගන්න පුළුවන් වුණා’’ යැයි චමිල් කිවේය.
කහවතුර ඔයට බිලිවීමට ගිය මේ පිරිස බේරාගෙන රැගෙන ආවේ අඹගමුව පන්සලටය.
ඒ අතරේ වතුර ටිකෙන් ටික බැස යමින් තිබියදී මගීන්ගෙන් හිස් වූ බසය මාර්ගය අයිනේ වෙල්යායට පාත් වෙමින් තිබිණ. වෙල්යාය යටකර ආ ජලකඳ නිසා වෙල්යායට මායිම් වූ පාරේ වේල්ල බුරුල් වී තිබිණ. එදින හවස් වන විට ජලය ටිකින් ටික බැස යද්දී හිස්ව තිබූ බසය වෙල්යායට පෙරළී විනාශ විය හැකි බව ක්‍රිෂ්ටිට කිවේද ඔහු ගේ යහළුවෙකි. ක්‍රිෂ්ටි නාවලපිටිය සිට අඹගමුවට ආවේ ඔහු ගේ යහළුවෙකු වර්ෂාව නිසා ආපදාවට ලක්ව ඇති බව දැන ගෙන ඔහුට උදව් වීමටය. එහිදී දැනගත් පරිදි මගීන්ගෙන් තොර බසය අනතුරට පත් වීමට තිබූ ඉඩකඩ වැඩිය.ක් රිෂ්ටි තම කැබ් රථය හා තමන් ගේ කාර්ය මණ්ඩලය සමග බසය නැවතී තිබූ අඹගමුව කහවතුර ඔය බෝක්කුව අසලට යන විට ජල කඳ බසයේ රෝද මට්ටමට අඩු වී තිබිණ. ඔහු කැබ් රථයේ තිබූ කඹයක ආධාරයෙන් බස් රථය ආරක්ෂිතව පාරට ගෙන පාරේ ආරක්ෂිත ස්ථානයක රැඳෙව්වේය.
කහවතුර ඔය දෙගොඩතලා අඹගඹුව කඩ විදියටද ජල කඳ ගලා ගොස්, සමහර වෙළෙඳසැල්ද යට කර ගෙන තිබිණ. සිය දේපළ ගංවතුරට යට වුවද අඹගමුවේ කඩ හිමියන් සිටින්නේ සතුටිනි."අපෙ කොල්ලො නොහිටින්න අහිංසක ජීවිත පනහක් විතර ජල රකුසාට බිලි වෙනවා. ඒ මහා විනාශය වැළකුණේ අපෙ ගමේ විරෝධාර තරුණයෝ නිසා. බසය ජලයට යට වෙමින් තිබෙන අවස්ථාව වනවිටත් පාර මාරුවීමට ගිය පුද්ගලයන් දෙදෙනකු ජල පහරට අසුව ගසා ගෙන ගොස් තිබුණා. එයින් අයෙක්ගෙ ජීවිත රැකුණත් එකකු මියගිහින්. එවැනි වෙලාවක තමයි මේ තරුණ දරුවෝ ජීවිත රැසක් වෙනුවෙන් ජල රකුසා එක්ක සටනක් කෙළේ. මහත්තයෝ තවමත් අපි අතර මිනිසත් දෙවිවරු ඉන්නවා. මෙවැනි කරදරයකදී තමයි ඒ අය අඳුනා ගන්න පුළුවන්. මට මගේ කඩේ බඩු මුට්ටු නැති වුණාට දුකක් නැ. තමන් ගේ ජීවිත දේපළ පරදුවට තියල අනුන් ගේ ජීවිත හා ලංගම බසය බේරා ගන්න අපේ කොල්ලෝ සමත් වුණා. ඒකම ඇති මට. ඒ සතුට පෞද්ගලික ධනයෙන් මහ පින්කමක් කර ගත්තා වගෙයි දැනෙන්නෙ යැයි අඹගමුව ටවුමේ දුරකථන මධ්‍යස්ථානයක හිමිකරුවකු වන විජේරත්න එසේ කීවේය.

