ලංකාව බෞද්ධ රටක් - ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක්
24 November 2026 | අශිකා ජයවීර
ලංකාව බෞද්ධ රටක් - ෆේස්බුක් මතයට අලි සබ්රිගෙන් පිළිතුරක්
24 November 2026 | අශිකා ජයවීර
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඊයේ [23 වැනිදා] ඔහු මේ බව සඳහන් කර තිබේ.
"රත්නදීප ජන්ම භූමි" යනුවෙන් සිය සටහන ආරම්භ කරන අලි සබ්රි පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ උපන් මුස්ලිම් ජනතාවට ද අනකුත් ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම මෙම රට තම මව්බිම ලෙස අභිමානයෙන් හැඳින්වීමට සම්පූර්ණ අයිතියක් පවතින බවය.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරයකු ලෙස තමන් මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත්, වසර දෙදහසකට අධික කාලයක් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතික උරුමයේ කොටස්කරුවකු වීම තමන්ට ද අභිමානයක් බවත් ඔහු එහි සඳහන් කර ඇත.
මොහොමඩ් ෆසාල් නමැත්තකු විසින් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි හිටපු අමාත්‍යවරයා මෙම සටහන තබා ඇත්තේ. මේ අතර, ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය සිදුකළ පුද්ගලයාගේ අදහස් තමන් තරයේ හෙළා දකින බව හිටපු ඇමැතිවරයා අවධාරණය කර ඇත.
අදාළ පුද්ගලයාට තමන් වෙනුවෙන් හෝ මෙරට සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු වරමක් නොමැති බවත්, එම ප්‍රකාශයෙන් සිත් රිදුණු ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් අලි සබ්රි එහි සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ සහ පෝෂණය කිරීමේ වගකීම රජයට පැවරෙන බවත් එසේම 10 වැනි ව්‍යවස්ථාව මගින් ආගමික නිදහස සහ හෘදය සාක්ෂියේ නිදහස තහවුරු කරන අතර, 12 වැනි ව්‍යවස්ථාව මගින් නීතිය ඉදිරියේ සියලු දෙනාගේ සමානාත්මතාව සහතික කරන බවත් ඔහු එහි දක්වා ඇත.
මේ අතර, එක් පුද්ගලයකුගේ ප්‍රකාශයක් හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම විවේචනයට හෝ ප්‍රහාරයට ලක් නොකරන ලෙස හිටපු අමාත්‍යවරයා බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් ද කරන අතර වසර ගණනාවක් පුරා බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර ගොඩනැගී ඇති අසල්වැසි සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය එක් පුද්ගලයකුගේ ප්‍රකාශයක් හේතුවෙන් පළුදු වීමට ඉඩ නොදිය යුතු බව ඔහු සිය පණිවුඩයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.


