brand logo
logo
කාවන්තිස්සගේ මරණයට ඇල්ලූ ගිනි අවි රස පරීක්ෂකට

කාවන්තිස්සගේ මරණයට ඇල්ලූ ගිනි අවි රස පරීක්ෂකට

23 October 2026 | •‍උපාලි ආනන්ද-අනුරාධපුර

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකයට අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අධිකරණයට ඉදිරිපත් කළ ගිනි අවි දෙක රජයේ රස පරීක්ෂකවරයාට යවා ඊට අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහව මහෙස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න‍ ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරින්ට නියෝග කළාය.


මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ ගල්ගමුව වනජීවි කාර්යාලයේ නිලධාරින් අධිකරණයට කරුණු දක්වමින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.


අදාළ ගිනි අවි දෙක උපයෝගි කරගෙන කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැක ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනිත් සැකකරු මේ මස 28 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටිති. ඒ මහව මහෙස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න ඉකුත් 20 වැනිදා ලබා දුන් නියෝගයකට අනුවයි. ගල්ගමුව වැඩ බලන මහෙස්ත්‍රාත් චතුරිකා හතුරුසිංහ ඉකුත් 18 වැනිදා ලබා දුන් නියේගයකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රාහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඔලුගලගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ වනජීවි නිලධාරින් කණ්ඩායමක් ඒකාබද්ධව කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. මෙම නඩුවට පැමිණිල්ල වෙනුවෙන් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහගේ උපදෙස් මත ගල්ගමුව වනජීවි කාර්යාලයේ වනජීවි නිලධාරිහු පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ උදය රාජපක්ෂ පෙනී සිටියේය. ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රි ලංකා ශාඛාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායකගේ උපදෙස් මත නීතිඥ සඳගිරි බණ්ඩාර පෙනී සිටියේය.

 

More News..