brand logo
logo
ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නව පනත් කෙටුම්පතක්

30 October 2026



ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.


ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්‍යන්තර පදනමේ (IFES) නියෝජිතයෝ ද සහභාගී වූහ.


මෙහිදී සංසදයේ නියෝජ්‍ය සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා විසින් පසුගිය වසර එකහමාරක කාලය තුළ සංසදය ඉටුකළ කාර්යභාරය සහ අත්කරගත් ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.


දිස්ත්‍රික් මට්ටමින් ආබාධ සහිත තැනැත්තන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බවත්, උතුරු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ එම වැඩසටහන් සාර්ථකව අවසන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක හයක එම වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.


එමෙන්ම, ලබන වසරේ අයවැය සඳහා ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන 50කට අධික සංඛ්‍යාවක සහභාගීත්වයෙන් යෝජනා රැස්කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. සෑම අමාත්‍යාංශයකම අයවැය ලේඛනයට ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් වෙන්වූ වැය ශීර්ෂයක් ඇතුළත් කිරීම ද එම යෝජනා අතර වේ.


1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීම, සංඥා භාෂා පනතක් හඳුන්වාදීම සහ විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අවශ්‍ය සංශෝධන සිදුකිරීම සඳහා ද සංසදය පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට හදිසි අවස්ථාවකදී 119 පොලිස් හදිසි ඇමතුම් සේවාව සංඥා භාෂාවෙන් ලබාගැනීමට හැකි වන පරිදි සංඥා භාෂාව පිළිබඳ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් සේවාවක් ද සංසදයේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.


මේ අතර, සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් පිරිනමනු ලබන 2026 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය නව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය හිමිවීම සහ මෙරට ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් ඔහු දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වීම ජයග්‍රහණයක් බව වෛද්‍ය පද්මනාතන් සත්‍යලිංගම් මහතා පෙන්වා දුන්නේය.


සාකච්ඡාවට එක්වූ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේ, ආබාධ සහිත ප්‍රජාව අනෙකුත් ප්‍රජාවන් සමඟ සමාන අවස්ථා සහිතව ඉදිරියට ගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මෙන්ම ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තියේ ද මූලික අරමුණක් බවයි.


ඒ වෙනුවෙන් දත්ත පද්ධති ගොඩනැගීම, සංඥා භාෂා ශබ්දකෝෂ නිර්මාණය සහ ප්‍රතිපත්තිමය හා නීතිමය සංශෝධන සඳහා දිගුකාලීන සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.


සංසදයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය සියලු අංශ ආවරණය වන පරිදි පුළුල් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් මෙරට ආබාධ සහිත ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවත් සංසදයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.


ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 

More News..