නාගයාගේ දෙකොනින් අල්ලාගෙන ඉල්ලන් කෑම
17 August 2026
නාගයාගේ දෙකොනින් අල්ලාගෙන ඉල්ලන් කෑම
17 August 2026
සුර අසුර යුද්ධයේදී අසුරයන් අතින් නොමැරී අමරණීයව සටන් කරන්නට නම් කිරිමුහුද පතුලේ තිබෙන අමෘතය මතු කරගෙන පානය කළ යුතු බව දෙවියන්ට වැටහී ගියේය. දෙවිවරුන් කළේ මහාමේරු පර්වතය කිරි මුහුදට බස්සවා අනන්ත නම් නාගරාජයා පර්වතය වටා පටලවා ඒ මේ අතට අදිමින් මහාමේරුව කරකවමින් කිරි මුහුද කැලඹීමය. දෙවියන් අමරණීය වෙන්නට අමෘතය සොයන සැටි දුටු දෙවියන්ගේ විරුද්ධවාදීන් වූ අසුරයන්ද අනන්ත නාගරාජයාගේ පෙණ ගොබය පැත්තෙන් ඇද ඇද කිරි මුහුද කලඹන්නට ගත්තේ තමන්ද අමෘතය සොයාගෙන බී අමරණීය වෙන්නට සිතාගෙනය. සුරයින් සහ අසුරයින් නගුටෙනුත්, හිසෙනුත් අල්ලා කරකවන විට කෝපයට පත් අනන්ත නාග රාජයා මුඛයෙන් විෂ පිඹින්නට වූයෙන් හිස අල්ලාගෙන සිටි අසුරයන් සෑහෙන ගණනක් විනාශ විය. අන්තිමේ කිරි මුහුද කැලඹී මතු වූ අමෘතය දෙවියන් සන්තක කරගත් අතර තවමත් ඒ අමෘය පානය කරන දෙවියන් දෙව්ලොව අමරණීයව වැඩ වසති.
සූරසේන අග විනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ දම අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ ධුර කාලය දිගුකරගෙන, එමගින් ආණ්ඩුව අමරණීය කරගන්නට කරන උත්සාහයත්, ඊට එරෙහිව විපක්ෂය කරන සටනත් ඇත්තේ අනන්ත නාගරාජයා මහජන මතය නම් මහා මේරුවේ වටා ඔතා කරකවන මට්ටමේය. විසිදෙවෙනි සංශෝධනය ගෙන එන්නට ආණ්ඩුව දරන උත්සාහය විපක්ෂය සලකන්නේ අමරණීය වෙන්නට හෙවත් ජනාධිපතිවරණ, මහ මැතිවරණ නොපවත්වා ආණ්ඩුවේ ධුර කාලය දීර්ඝ කරගන්නට දරන උත්සාහයක් ලෙසය.
මේ අධිකරණ ක්ෂේත්‍රයේ කැලඹීමට දැන් සෑම පාර්ශ්වයක්ම එක්වී ඇත. ඒ කැලඹීම කරගෙන යන්නේ විෂදුම් මැද්දේය. අගවිනිසුරුගේ සේවා කාලය දීර්ඝ කිරීම ගැන තීන්දුවකට ඒමට අධිකරණ සේවා සංගමය රැස් වූයේ කොළඹ නොව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණ රැස්වීම් ශාලාවේය. මහෙස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමයට සුපුරුදු ලෙස කොළඹ මහෙස්ත්‍රාත් රැස්වීම් ශාලාවේ රැස් වීමට ඉඩ නොදීමෙන් පෙනෙන්නේ දැනටමත් විෂදුම් නිකුත් කරන්නට පටන්ගෙන තිබෙන බවය. කෙසේ හෝ අධිකරණ සේවා සංගමය සේවා කාලය දීර්ඝ කිරීමට එරෙහිව තම ප්‍රකාශය කළේය.
එසේම රටපුරා විසිහයදාහක් වන සාමාජිකයන් කොළඹ නීතිඥ සංගම් ශාලාවට කැඳවූයේ අගවිනිසුරු සේවා කාලය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරය ගැන තීන්දුවක් ගැනීමටය. එම රැස්වීමට තුන්දහස් පන්සියයකට අධික නීතිඥයන් පිරිසක් පැමිණියේ වාර්තාගත අන්දමටය. නීතිඥ සංගමය ද එහිදී ඒකමතිකව ප්‍රකාශ කළේ අගවිනිසුරුගේ සේවා කාලය දීර්ඝ කිරීමට එරෙහි බවය. කවුරුත් සිතුවේ මේ සා විරෝධයක් නීති ක්ෂේත්‍රයෙන් මතු වුවද කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාව ඉන්පසු ගැසට් කිරීමටද කටයුතු කළේය. ඊළඟට තියෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය. එවිට ඊට එරෙහිවන අයට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන මාර්ගෝපදේශ අනුව පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකිය.
ඉහළ අධිකරණ විනිසුරන්ගේ ධුර කාලය දීර්ඝ කරගැනීම උසාවියටම තීන්දු කරන්නට දීම තමන්ගේ නඩුව තමන්ම ඇසීමක් බැවින් ඒ යෝජනාව සඳහා ජනමත විචාරණයක කැඳවීමට ආණ්ඩුව තල්ලු කළ යුතු බවට මුලින්ම කීවේ රනිල්ය. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑ නෑ. තුනෙන් දෙකක ඡන්දෙ හොඳටම ඇති යැයි අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ජනමත විචාරණයකට ගියොත් වෙන දේ හොඳටම දන්නා නිසාය. එසේම එය නයාගේ හිසෙන් අල්ලා ඇදීමටත්, ඒ විසෙන් ආණ්ඩුව අඩපණ කිරීමටත් දුන් තුරුම්පුවකි.
නිරාගමිකයන්ද ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතු යැයි කියන අයද බැරිම තැන කළේ මල්වත්තේ මහ නාහිමියන් හමුවී තමන් අල්ලාගෙන සිටින අනන්ත නාගයාගේ තරම කියා පෑමය.
විපක්ෂයේද, සෙසු පාර්ශ්වවලද ඉල්ලීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරු ජනාධිපතිවරයාට විශේෂ ලියුමක් යැවූ අතර ආණ්ඩුව කළේ එය නිශ්ශබ්දතාවේ ගිල්වා දැමීමය. නිශ්ශබ්දතාවෙන් පෙනී ගියේ ලියුම හොඳ නැති බවය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලියුම ගැන ඉල්ලීමක් කරන්නට වෙන බව ජී.එල්. පීරිස් කීවේ මහ නාහිමිවරුන්ගේ ඉල්ලීම වුව නොසලකා හරින්නට ආණ්ඩුව කටයුතු කරන බව හැඟවීමටය. අමරණීය වීම උදෙසා අමෘතය සොයා වෙහෙසෙන සුරයන් ත්‍රෛනිකායික භික්ෂූන්ගේ ලියුම් ගණන් ගනීද?
මේ අමෘතය සොයා ගිය එකම ආණ්ඩුව හෝ අවසාන ආණ්ඩුව නම් නොවේ.
ජේ.ආර්. ජයවර්ධන එක්දහස් නවසිය හැත්තෑ හතේදී පත්කරගත් 36 වන අගවිනිසුරු නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරකු නොව පෞද්ගලික නීතිඥවරයකුව සිටි නෙවිල් සමරකෝන්ය. තමන්ගේ පෞද්ගලික නීතිඥවරයාව අගවිනිසුරු ලෙස පත් කරගැනීමෙන් ජේ.ආර්. අපේක්ෂා කළේ ආණ්ඩුවේ සියලු වුවමනාවන්ට නීතියේ මුද්‍රාව ලබාගැනීමය. එහෙත් 1984 කලවාන ආසනයට අතුරු මැතිවරණයෙන් තේරී පත් වූ සරත් මුත්තේට්ටුවේගමත් සමගම චිට් ක්‍රමය මගින් තෝරා ගත් මන්ත්‍රිවරයකුද පාර්ලිමේන්තු ගෙන ඒමට ජේ.ආර්. දැරූ උත්සාහය නෙවිල් සමරකෝන් අගවිනිසුරු ප්‍රතික්ෂේප කළේ, එසේ කිරීමට නම් ජනමත විචාරණයක් වුවමනා බව කියමිනි. අන්තිමේ ඔහුව නෙරපීමට දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමටද සූදානම් වෙද්දී නෙවිල් සමරකෝන් විශ්‍රාම ගියේය. එදා ද අද මෙන් ඒ දෝෂාභියෝගයට පක්ෂව අත්දෙක උත්සන්නට 5/6 මන්ත්‍රිවරු පිරිසක් සූදානම්ව උන්හ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු අගවිනිසුරු කමට සුදුසුකම් සපුරා තිබියදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිව සිටි සරත් නන්ද සිල්වා 41 වැනි අගවිනිසුරු ලෙස එම ධුරයට පත්කළාය. සරත් නන්ද සිල්වා පත් කරන දවසේ අධිකරණයේ මළගම ලෙස ‘රාවය’ එම පත්කිරීම හඳුන්වා දුන්නේය. එබඳු විරෝධයක් හමුවේ චන්ද්‍රිකා පත්වීම දුන් අගවිනිසුරු 2004 වසරේදී චන්ද්‍රිකාගේ ධුර කාලය ගැන පැනවූ නඩුවකට තීන්දුව දෙමින් ඇයගේ ධුර කාලය වසරකින් අඩුකරන තීන්දුවක් දුන්නේය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියකව සිටි අභියාචනාධිකරණයේ විනිසුරුවරියක ලෙසද, ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙසද පත් කෙරුණ ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අග විනිසුරුවරිය ලෙස තෝරා පත් කළේ මහින්ද රාජපක්ෂය. එහෙත් රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් වූ දිවි නැගුම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම්ව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසූ විට පළාත් සභා අනුමැතිය නැතිව රජයට එය රටපුරා ක්‍රියාවට නැගීමට බලයක් නැති බවට ඇය තීන්දුවක් දුන්නාය. මහින්ද රාජපක්ෂ තමන් පත් කළ අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අගවිනිසුරුකමෙන් නෙරපුවේය.
අනන්ත නාගරාජයාගේ දෙකොණෙන් අල්ලා අමෘතය මතුකරගෙන දීර්ඝායු ලබන්නට උත්සාහ කරන සුරයන්ට අන්තිමට වෙන්නේ මේ ටිකය.

