Best News Website award
brand logo
logo
පූජා කළ අටපිරිකර යළි විකිණූ ජාවාරමක් මාතලේදී වටලයි

පූජා කළ අටපිරිකර යළි විකිණූ ජාවාරමක් මාතලේදී වටලයි

19 November 2026


කඨින චීවර මාසය ඉලක්ක කරගනිමින් මාතලේ නගරයේ පිහිටි ප්‍රසිද්ධ අටපිරිකර හා පූජා භාණ්ඩ අලෙවිසැලක පවත්වාගෙන ගිය ප්‍රමිතියෙන් තොර අටපිරිකර සකස්කර අලෙවිකිරීමේ ජාවාරමක් මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අද (19) වටලා තිබේ.


පූජා කරන ලද අටපිරිකර නැවත ලබාගෙන, ඒවා ප්‍රමිතියෙන් තොරව නැවත අසුරා අධික මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.


වැටලීමේදී අනාවරණය වූ තොරතුරු අනුව, රුපියල් 1,500ක පමණ මුදලකට ලබා ගන්නා එක් අටපිරිකරක් නැවත සකස් කර රුපියල් 4,500ත් 5,000ත් අතර මිලකට අලෙවි කර ඇති බව වාර්තා වේ.


ප්‍රමිතියෙන් තොර සිවුරු, පාත්තර, දැලිපිහි ඇතුළු අටපිරිකර සඳහා යොදා ගන්නා පූජා භාණ්ඩ තොගයක් වෙ‍ෙළඳසැලේ තෙවැනි මහලේ ඉතා සූක්ෂම අයුරින් රඳවා තබා නැවත ඇසුරුම් කිරීමට සූදානම් කර තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන එම භාණ්ඩ සියල්ල අධිකාරිය භාරයට ගෙන ඇත.


මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ ප්‍රධානීගේ මූලිකත්වයෙන්, විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.


භාරයට ගත් පූජා භාණ්ඩ තොගය සමඟ අදාළ ව්‍යාපාරයේ හිමිකරු ඉදිරි විමර්ශනවලින් අනතුරුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

More News..