FB ලිංගික ජාවාරම් වැඩිවෙලා
27 October 2026 | •නිර්මාණි තිලකසිරි
FB ලිංගික ජාවාරම් වැඩිවෙලා
27 October 2026 | •නිර්මාණි තිලකසිරි
ලිංගික ශ්රමිකයෙකු ලෙස හඳුන්වා දෙමින් අන්තර්ජාලය හරහා ලිංගික සේවා සැපයීම වෙනුවෙන් මුදල් ලබාගෙන වංචාකරන සිද්ධීන් පිළිබඳ බහුලව වාර්තා වන බව පොලිසිය පවසයි.
මේ සඳහා ජංගම දුරකථන යෙදවුම් (App) මගින් හෝ මුහුණපොත හෝ වට්සැප්, ටෙලිග්රෑම් වැනි සමාජ මාධ්ය ජාලා ගිණුම් සමූහ භාවිත කර ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය පෙන්වාදෙයි.
මෙම වංචනික ක්රියාදාමයේ නිරතවන්නන් විසින් කෙටි කාලයක් හෝ දිගුකාලයක් ආකර්ශනීය අයුරින් පණිවුඩ යොමුකිරීම මගින් රැවටීමට ලක්වූ පුද්ගලයන්ගේ විස්වාසය දිනාගෙන හමුවිය හැකි ස්ථාන පිළිබඳව සඳහන් කරමින් සහ නිරුවත් දර්ශන යොමුකරමින් දිගුකලක් මිත්රත්වය තහවුරු කර ගනී. ඉන් පසු ණය මුදල් ඉල්ලීම්, නිරුවත් දර්ශන සඳහා මුදල් ඉල්ලීම්, සුහඳතාවය මත මුදල් ඉල්ලීම්, හදිසි ආපදාවකට ලක්වී ඇති බව සඳහන් කරමින් නැවත ගෙවන පොරොන්දුව මත මුදල් ඉල්ලා ලබාගැනීම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
මෙලෙස මුදල් ලබාගත් පසු නැවත කිසිදු ප්රතිචාරයක් නොදැක්වීම හෝ අඛණ්ඩව මුදල් ඉල්ලීම් සිදුකිරීම, අතිශය පුද්ගලික තොරතුරු, ඡායාරූප සමාජගතකිරීම සිදුකරන බව පවසා තර්ජනය කිරීම් වාර්තා වන බව පොලිසිය පවසයි.
එබැවින් මෙවැනි ව්යාජ සබඳතා සඳහා යොමු වූ සැලකිය යුතු පිරිසක් මේ වන විට දැඩි ලෙස අපහසුතාවට පත්වී ඇති බැවින් අන්තර්ජාලය තුළින් අයකු හමුවී සමීප සබඳතාවක් දක්වා එම සුහඳතාවය ගොඩනැගෙන බව යම් පුද්ගලයෙකුට හැඟේ නම් සිහිනුවණින් යුතුව කටයුතු කිරීම මගින් ඇයගේ හෝ ඔහුගේ අවංකභාවය පිළිබඳ පැති ගණනාවක් ඔස්සේ තහවුරු කරගැනීම සිදුකළ යුතු බව පොලිසිය අවධාරණය කරයි.
එමෙන්ම කිසිදු විටක නාඳුනන පුද්ගලයකුට කිසිසේත්ම මුදල්, බැංකු තොරතුරු, OTP හෝ මුරපද ලබා නොදිම, ජාතික හැඳුනුම්පත් තොරතුරු සහ සංවේදී ඡායාරූප ලබානොදීම සිදුකරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

