කථානායකට විරුද්ධ විශ්වාස භංග යෝජනාව
04 November 2026
කථානායකට විරුද්ධ විශ්වාස භංග යෝජනාව
04 November 2026
ඊයේ, එනම් නොවැම්බර් 3 වැනිදා අප මේ ලියන මොහොත වන විට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණේය. එහෙත් එය විවාදයට නොගැනුණු බව මේ වන විට මුළු රටම දනී.
විශ්වාස භංග යෝජනාවේ චෝදනා 50 ක් අඩංගුය. ඉන් ඇතැම් චෝදනා සැබෑ නම් ඒ ඉතා ලැජ්ජා සහගතය. කෙසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කිරීම හා රජයෙන් ලබාදෙන නිවාස, වාහන, ඉන්ධන අවභාවිත කිරීම මේ ලැයිස්තුවේ ඇති බව දැනටමත් ප්‍රසිද්ධය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 44 දෙනකු අත්සන් කළ විශ්වාස භංග යෝජනාව කථානායකවරයා වෙත භාරදෙනු ලැබුවේ ඔක්තෝබර් 9 වැනිදාය. පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව එතැන් පටන් ඒ සම්බන්ධ කිසිම කටයුත්තකට කථානායකවරයා හැටියට සහභාගිවීමෙන් ඔහු වැළකිය යුතු යැයි අපේක්ෂා කෙරෙයි. එහෙත් සංශෝධන සහිතව මිස විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ නොහැකිය යන තීන්දුව ගත් පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේද මූලාසනය ගත්තේ කථානායකවරයාය.
ආණ්ඩුව ඊයේ පාවිච්චි කළේ විශ්වාස භංග යෝජනාවට ඔවුන් විසින් යෝජනා කළ සංශෝධන නොමැතිව එය විවාදයට ගත නොහැකිය යන තුරුම්පුවයි. ඔවුන් කියන්නේ එහි අඩංගු ඇතැම් යෝජනා දැනට අධිකරණය හමුවේ ඇති බැවින් ඒ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම අනුචිත බවය. එහෙත් එය ඇත්තක්ද?
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට කථානායකවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ ඒ ඇතැම් කරුණු අන්තර්ගත බව ඇත්තය. එහෙත් අධිකරණයේ විභාග වන නඩු තිබියදී වුවද කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවටද පූර්වාදර්ශයක් තිබේ.
ඒ හිටපු කථානායකවරයකු වන මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාවේදීය. එකී යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන විට ඔහුට විරුද්ධව නඩු නවයක් අධිකරණයේ විභාග වෙමින් තිබුණේය. එහෙයින් ආණ්ඩුව තුරුම්පුවක් හැටියට දමා ඇත්තේ දෙකේ කොළයක් බව පැහැදිලිය.
මේ තුරුම්පුව ඉදිරිපත් කිරීමට පෙරාතුව ආණ්ඩුව ඊටත් වඩා බාල කොළයක් එළියට දමා බැලුවේය. ඒ විශ්වාස භංග යෝජනාව නීතිපති වෙත ඉදිරිපත් කළ යුතු බව කියා සිටීමය. එය හුදෙක් කල්මැරීමට ගෙනෙනු ලැබූ කතන්දරයක් බව පෙනී ගියේ කිසිවිටෙකත් විශ්වාස භංග යෝජනාව නීතිපති වෙත නොයැවුණු බැවිනි.
දැන් ගෙනෙන තර්කයට එනම් විශ්වාස භංග යෝජනාව සංශෝධනය කළ යුතුය යන කාරණයට විපක්ෂය කිසිසේත් එකඟ නැත. ඔවුන් කියන්නේ තමන් ආණ්ඩුවට ඕනෑ විදිහට විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැති බවය. විපක්ෂය ගන්නා ඒ ක්‍රියාමාර්ගය නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමේ අනගි අවස්ථාව ආණ්ඩුවට උදාවෙයි.
කථානායකවරයාට විරුද්ධව විපක්ෂය ගෙන හැර දක්වා ඇති චෝදනා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වනු ඇසීමට ආණ්ඩුව කැමති නොවීම සාධාරණය. එහෙත් එබඳු තත්ත්වයක් යටතේ විපක්ෂය ඉල්ලා සිටින පරිදි කථානායකවරයාට ඉල්ලා අස්වන ලෙස කියා සිටීමටද ආණ්ඩුවට නුපුළුවන. ආණ්ඩුවට කවර කොන්දේසි යටතේ වුවද කථානායකවරයා ආරක්ෂා කිරීමට සිදුවී ඇත්තේ නිකම්ම නොවේ.
මේ ආණ්ඩුව බලයට පත්වූ පසු අග්‍රාමාත්‍යවරියගේ හා සභානායකවරයාගේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කෙරුණු පළමුවැනි කථානායක අශෝක රන්වලට වැඩි දවසක් යෑමට මත්තෙන් ඉල්ලා අස්වීමට සිද්ධ විය. ඒ නමට ඉදිරියෙන් ආචාර්ය යන්න භාවිත කළද ඒ සඳහා සුදුසුකම් ලබන මට්ටමේ පශ්චාත් උපාධියක් ඔහුට නොමැති බවට කෙරුණු චෝදනා හේතුවෙනි. සති කීපයක් ඇතුළත ඒ ඉදිරිපත් කරන බව කියා සිටියද දැන් අවුරුදු දෙකක් ගතවීත් ඔහුගේ උපාධි සහතිකය ගැන ආණ්ඩුව කතා කරන්නේ නැත.
එසේවී තිබියදී සිය දෙවැනි කථානායකවරයාටද මෙබඳු චෝදනා නැගී තිබීම මෙවැනි බලසම්පන්න ආණ්ඩුවකට වුවද දරාගැනීමට අපහසුය. එහෙයින් තමන් අත ඇති සියලු තුරුම්පු පාවිච්චි කරමින් කථානායකවරයා රැකගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටී. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවකට එය කළ නොහැක්කක්ද නොවේ.
ඉකුත් ‘‘සතිඅග අරුණ’’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ප්‍රියානි විජේසේකර කියා තිබුණේ කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ කළ එය ඉක්මනින්ම විවාදයට ගැනීම පාර්ලිමේන්තු සම්ප්රදාය බවයි. මෙතෙක් පහළ වූ එකම පිරිසුදු ආණ්ඩුව යනුවෙන් තමන් හැඳ සිටින පිරුවටය රැකගැනීම සඳහා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු සම්ප්රදායයන් නොතකා කටයුතු කරමින් සිටින බව දැන් හොඳාකාරවම පෙනෙන්නට තිබේ. එයාකාරයෙන් කථානායකවරයාට සිය පුටුවේ තවදුරටත් රැඳී සිටිය හැකි වුවද එසේ කිරීමෙන් ඒ පුටුවට මෙතෙක් හිමිව තිබූ ගෞරවය නම් තවදුරටත් රැඳී නොතිබෙනු ඇත.

