මධුසමයක් නැති ආණ්ඩුවක්...
03 November 2024
මධුසමයක් නැති ආණ්ඩුවක්...
03 November 2024
වැද්දන්ටත් මධුසමයක් තිබේ. ඒකට කියන්නේ රුකුලේ පද්දනවා කියාය. එසේම මල් කබලේ පැණි දෙන ගමන්පොජ්ජ කියාය. වැදි කැකුලියක් සහේට ගන්නා වැදි නාම්බා ඒකිත් කැටුව රංචුවෙන් වෙන්වී බැද්දේ වාසයට යයි. නෑයින් තබා නෑ යකුන්වත් උන්ට බාධා කරන්නේ නැත. අශීලාචාරයයි සම්මත සමාජයේ පවා මධුසමය යයි කියන්නේ බලාපොරොත්තු තබාගෙන නිදහසේ ඉන්නට ඉඩ දෙන කාලයටයි.
ඒ අර්ථයෙන් ගත්විට ආණ්ඩුවලටද මධුසමයක් ඇත්තේය. ආණ්ඩුව වැඩ කරන හැටියෙන් ඒ කාලය මාස හයක් හෝ වසරක් තරම් කාලයක් අල්ලා සිටී. අනුරට කලින් ජනාධිපති ලෙස තේරී පත්වූ ගෝඨාගේ කාලයේ රට පුරා තාප්පවල චිත්‍ර අඳිමින්, ඩෙනිම් පිටින් වෙලට බසිමින් ගෝඨාට මධුසමය ගෙවන්නට කාලයක් දුන්නේය. ආණ්ඩුවක් මධුසමය ගෙවන විට මහා විපතක් ආවත් පොදු ජනතාව එය විඳදරාගෙන ඉවසා හිඳී. ගෝඨා බලයට පත්ව මාස කිහිපයකින් කොරෝනා වසංගතය ආවත් රට වැසීම, ව්‍යාපාර නතර කිරීම, ඇඳිරිනීති ආදිය ජනතාව කැමැත්තෙන්ම ඉවසා සිටියේය. ආහාර හිඟයක් ආවොත් යැයි සිතා තම ගෙවතු ලක්ෂ ගණනින් වගා කළෝය. එසේ කළේ අපේ සාමූහිකත්වය යුරෝපා රටවලටවත් නැතැයි පාරම්බාමිනි.
ආණ්ඩුවක මධුසමය කාලෙට ජනතාවද ආණ්ඩුව කරන ආයාචනාවලට සවන් දෙති. කැපකිරීම් කරති. වෘත්තීය සංගම් වැඩවැරුම් උද්ඝෝෂණ පෙළපාළි පිකටිං නොකර බලා හිඳිති. ආණ්ඩුවක් ඇවිත් මාස හයක් තුළ ජනප්‍රිය නොවන තීන්දු වුව ගත යුතු යැයි කියන්නේ න්‍යායක් හැටියටය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය, බලය බෙදා හැරීම ආදී දේ කරන්නට තිබෙන හොඳම කාලය ආණ්ඩුව බලයට ආ අලුතය. කොටින්ම රට බෙදන ඊළාම් යුද්ධයක යෙදී සිටි ප්‍රභාකරන් ද තම තිස් අවුරුදු යුද්ධය තුළ පත් වූ සෑම ආණ්ඩුවකම මුල් මාස හය සටන් විරාමයකට ගොස් ඉවසා සිටියේ මධුසමය ගැන දන්නා නිසාය.
එහෙත් මේ ආණ්ඩුවට මධුසමයක් නැති තරම්ය. නව ජනාධිපති පත් වී දින දහයක් ඉක්මයාමටත් කලින් ශිෂ්‍යත්ව විභාගයට දරුවන් ඉදිරිපත් කළ දෙමාපියෝ ජනාධිපති කාර්යාලය අබියස උද්ඝෝෂණය කළෝය. අගමැතිනිය දුන් විසඳුම ඉවසුවේ නැති ඔවුහු ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැමූහ. ජනාධිපති පත්වී සතියක් ඇතුළත ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ගුරු ඉල්ලීම් නොදුන්නොත් පාරට බසින බවට තර්ජනය කළේය. හාල් පාලන මිලට දෙන බව කියූ ඩඩ්ලිට පාලන මිලට හාල් දීපං කිය කියා දොස් නැගූහ. බිත්තරයද කළේ ඒකය. ආරුගම්බේ සංචාරක කලාපයට ත්‍රස්ත තර්ජනයක් එල්ල කෙරුණේ මාසයක් ඉක්ම ගිය තැනය. මහ මැතිවරණ දිනය වැරදි බව කියා දැනටමත් නඩුවක් දමා ඇත. බ්‍රික්ස් සමුළුවට ජනාධිපති සහභාගි නොවූයෙත් මේ කරදර නිසා බව විජිත හේරත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මධුසමයක් ගැන හිතන්නටවත් බැරි නිසාය.
කොටි පවා හැම ආණ්ඩුවකටම දුන් සහන කාලය අනුරට දුන්නේ නැත්තේ ඇයි?
අනුර කුමාර දිසානායක ජනාධිපති වූ විට මේ ආණ්ඩුව ගැන අර්ථකථනය කළ පළපුරුදු විචාරකයකු මේ ප්‍රශ්න තියෙන ජනතාවක් පත්කළ ආණ්ඩුවක් බව කීවේය.
හැත්තෑපස් වසරක් රට පාලනය කළ පාලක පැලැන්තිය ගැන ඇති කළ අප්‍රසාදය පිළිකුලත් අනුර බලයට පත් කළ ප්‍රධාන බලවේගය විය. කිලිටි ඇඳුමක් ලැබෙන පළමු තත්පරයේම ගලවා විසිකළ යුතුය. ඔවුන් ප්‍රාර්ථනා කළේ තව එක්දිනක් එක තත්පරයක් මේ ශාපය ඉවසිය යුතු නැති බවය.
කාලය ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. පත්කළ හැම ආණ්ඩුවකටම වඩා වෙනස් මොකක්දෝ කාටත් නොතේරෙන ආකාස්මික දෙයක් ඔවුහු බලාපොරොත්තු වූහ. බලාපොරොත්තු ජනතාව තුළ ඇති කළේ ඔවුන්මය. නීතිය, සදාචාරය, ආර්ථිකය ආදී කාරණා කෙරෙහි රෙඩිමේඩ් විසඳුම් තිබෙන බවක් ජනතාවට හඟවන්නට සමත් වූහ. ‘‘බිලියන අටයි ණය තියෙන්නේ. ඕකත් ණයක්ද?’’ ආදී වශයෙන් කියන විට ජනතාවට සිතුණේ ආර්ථික අර්බුදය මහා දෙයක් නොවන බවය. හොරුන්ගේ සේරම ෆයිල් අපි ගාව තියෙනවා. රනිල්ගෙත් ෆයිල් දෙකක් තිබේ යැයි කියන විට හොරුන් මැඬීමට විමර්ශනය කර කර ඉන්න ඕනෑ නැති බව ජනතාව සිතූහ. වැටුප්, දීමනා ගන්නේ නැතිව සමාජ සේවයට දේශපාලනය කරන පිරිසක් ඉන්නා බව කියන විට සදාචාරය ගැන සොය සොයා ඉන්න ඕනෑද? ඒ නිසාම අල්ලේ තිබෙන නෙල්ලි ගෙඩියක් හෙවත් අතැඹුලක් සහිත විසඳුම් ජනතාව බලාපොරොත්තු වූයෙන් ආණ්ඩුවේ මධුසමය ගැන වගක් ජනතාවට නැත. ගැබ්බර ළඳක් සහේට ගෙනා විට මොන මධුසමයද?
මේ නොයිවසිල්ල ගැන අවබෝධයක් තිබුණ නිසා ජනාධිපතිවරයා මම ඉන්ද්‍රජාලිකයකු හෝ විජ්ජාකාරයකු නොවෙමි’ යයි ජාතිය අමතා පළමු කතාවේම කීවේය. එයින්ම මාලිමාව කාලය සමග මුහුණ දෙන අභියෝගයේ තරම තේරුම්ගත හැකිය. ඒ නිසා බලයට පත් වහාම ජනාධිපති මන්දිරයේ ශීතකරණවල තිබූ සුඛෝපභෝගී කෑමද මධු පාන වර්ගද වහා ඉවත් කරන්නට තීන්දු කෙරිණි. ආරක්ෂක වාහන, ආරක්ෂක සෙබළුන් මතු නොව අග්‍රාමාත්‍යවරුන් ඉන්න අරලියගහ මන්දිරයේ මුරකුටි පවා ඉවත් කෙරිණි. ජනාධිපතිවරයා චාම් ඇඳුමින් සැරසුනකු විය. එහෙත් ඒ කළ හැම නව වෙනසක්ම සිරිසේනගේ කාලයේ පටන්ගෙන ගෝඨාගේද කාලයේ කූඨප්‍රාප්තියට පත්කළ වැඩ විය. ආරක්ෂකයන්ද, සුඛෝපභෝගී වාහනද පිරිවරාගෙන යාම පිළිකුල් කරමින් ඒ ක්‍රමය විවේචනය කළ හරිනි අගමැතිනිය මේ ස්විට්සර්ලන්තය නොවේ මාගේ කාර්යබහුල ජීවිතයට සරිලන ආරක්ෂාවක් මට ඕනෑ යැයි මාසයක් තුළ කියන හඬින් ඇසුනේ ඇය මනෝ ලෝකයෙන් අග්‍රාමාත්‍ය ධුරයට වැටුණ සද්දයයි.
මම ඉන්ද්‍රජාලිකයකු නොවෙමි. විජ්ජාකාරකයකු නොවෙමි යැයි කීමේ අර්ථය ඉතා නිවැරදිය. එය විජ්ජාවල් නොදත්තන් ගැලවිඡ්ඡාවට කියූ කතාවකි.

