අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
18 August 2026
අතුරුදන් වූ නාවිකයා සොයා සිව්වන දිනටත් මෙහෙයුම්
18 August 2026
අතුරුදහන් වූ නාවික හමුදා නිලධාරියා සොයාගැනීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
අඟුලාන ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ සාමාන්‍ය මුර සංචාරයකින් ආපසු පැමිණෙමින් සිටියදී, පසුගිය 15 වනදින පෙරවරු 11.40ට පමණ නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අනපේක්ෂිත සමුද්‍රීය හදිසි තත්ත්වයකට මුහුණ දුන්නේය.
එම අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව, අඟුලාන පොලීසියේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව යාත්‍රාවේ සිටි පුද්ගලයින් 12 දෙනාගෙන් 11 දෙනෙකු සාර්ථකව බේරා ගැනීමට සමත් විය.
ඒ සමඟම, අතුරුදන් වූ නිලධාරියා සොයා ගැනීම, යාත්‍රාව ගොඩගැනීම සහ සිදුවීමට අදාළ නිශ්චිත තත්ත්වයන් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂිත සම්පත් යෙදවීමට නාවික හමුදාව කටයුතු කළේය.
16 වන දින අලුයම සිට දැරූ වෙහෙසකර උත්සාහයකින් අනතුරුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අදාළ යාත්‍රාව සාර්ථකව ගොඩගන්නා ලදී.
කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ පැවති රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ඇදගෙනයාමේ කටයුතුවලට බාධා එල්ල වූ අතර, ඒ සඳහා වන උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
බේරාගත් පුද්ගලයින්ගෙන් ලබාගත් මූලික තොරතුරු මත පදනම්ව, යාත්‍රාව එම ප්‍රදේශයේ තිබූ ජලයේ ගිලීගිය නෞකා සුන්බුන් කොටසක ගැටී තිබිය හැකි බවට සැකයක් පවතී.
ඒ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.
මේ අතර, මෙම සිදුවීම පිළිබඳ මූලික විමර්ශනයක් සිදුකිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත්කර ඇත.
බේරාගත් නාවික හමුදා සාමාජිකයින් 11 දෙනා තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරව පවතින බව සඳහන් වෙයි.

