brand logo
ජපානය බරපතළ අනතුරක

ජපානය බරපතළ අනතුරක

6 days ago | සහන් වික්‍රමගේ

Share on

ජපාන සමාජයට තවදුරටත් සමාජයක් ලෙස ක්‍රියාත්මකවීමට අසීරු තත්ත්වයක් උදා වෙමින් ඇති බවට එරට අගමැති ෆුමියෝ කිෂිදා අනතුරු අඟවයි. 


ඔහු පවසන ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන්නේ ජපානයේ උපත් අනුපාතය වේගයෙන් පහත වැටෙමින් තිබීම නිසාය. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා මේ මොහොතේ පියවර නොගතහොත් නැවත ඒ සඳහා අවස්ථාවක් නොලැබෙණු ඇති බවටද ඔහු අනතුරු අඟවයි. ජපානය තුළ උපත් සංඛ්‍යා අඩුවෙමින් තිබීම කාලයක සිටම විශාල ගැටලුවක් නිර්මාණය කරමින් තිබේ.


මේ නිසා වැඩ කරන වයසේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව අඩුවෙමින් ඇත. ඔවුන්ගෙන් යැපෙන මහළු පුද්ගලයන් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් තිබේ. මෙය සමාජයීය සහ ආර්ථික වශයෙන් ගැටලු ගණනාවකට තුඩු දෙන්නකි. එරට වියපත් පුද්ගලයන්ගේ ආයු කාලය වැඩි වෙමින් තිබීමද මෙම අර්බුදය උත්සන්න කිරීමට දායක වී ඇති තවත් සාධකයකි. වයස අවුරුදු 65ට වැඩි අයගේ ප්‍රතිශතය අතින් ජපානය ලොව දෙවැනි තැන පසුවේ. එරට එම ප්‍රතිශතය සියයට 28කි. මෙම ලැයිස්තුවේ ජපානයට ඉහළින් සිටින්නේ කුඩා රාජ්‍යයක් වන මොනාකෝ පමණි. 2021 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව මොනාකෝහි එම ප්‍රතිශතය සියයට 35කට ආසන්න විය. එරට ජනගහනය 36,700ක් පමණි.


පසුගිය වසරේ ජපානය තුළ උපත ලබා තිබුණේ දරුවන් ලක්‍ෂ 8කටත් අඩු සංඛ්‍යාවක් බව වාර්තා වේ. නවසිය හැත්තෑව දශකයේ එරට වාර්ෂික උපත් සංඛ්‍යාව ලක්‍ෂ 20කට වැඩි වූ බව සඳහන්ය. මේ වනවිට ජපානයේ ජනගහනය මිලියන 125කි. 2017 වසරේ එරට ජනගහනය මිලියන 128 ක් වූ අතර එයින් පසු ජනගහනය අඩුවෙමින් ඇති බව සඳහන් වේ. ජනගහන විශේෂඥයන් පවසන්නේ මෙම සියවසේ අවසන් භාගය වනවිට ජපානයේ ජනගහනය මිලියන 53ටත් වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටෙනු ඇති බවය.


ජපානය සමාජයක් ලෙස කඩා වැටීමේ තත්ත්වයක් අබියස සිටින බවට අගමැති කිෂිදා අනතුරු අඟවන්නේ මෙවැනි පසුබිමක් තුළය. ‘දරුවන්ට සහ දරුවන් ඇතිදැඩි කිරීමට අදාළ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි කටයුත්තක් බවට පත්ව තිබෙනවා’ යැයිද ඔහු සඳහන් කර තිබේ. දරුවන්ට අදාළ වැඩසටහන් සඳහා රජය වෙන් කරන ප්‍රතිපාදන දෙගුණයකින් වැඩි කිරීමට තමා අපේක්‍ෂා කරන බවද ඔහු පවසයි. ‘දරුවන් හැදීම දිරිමත් කිරීම සඳහා අලුත් රාජ්‍ය ආයතනයක් ලබන අප්‍රේල් වනවිට පිහිටුවීමටත් අදහස් කරනවා’ යැයි ද කිෂිදා ප්‍රකාශ කර තිබිණි.


මේ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙයට පෙර පැවැති රජයන්ද පියවර ගෙන තිබිණි. නමුත් ඒවා අපේක්‍ෂා කළ තරම් සාර්ථක වී නොතිබිණි. ජපානය තුළ උපත් අනුපාතය පහත වැටීමට සාධක කිහිපයක් බලපා තිබේ. ජීවන වියදම ඉහළ යෑම, අධ්‍යාපන කටයුතුවල සහ රැකියාවල නිරතවන කාන්තාවන් ගණන ඉහළ යෑම, උපත් පාලන ක්‍රම සුලභ වීම ආදිය ඒ අතරින් කිහිපයකි.

loading...