brand logo
logo
භාණ්ඩ ආනයනය මුවාවෙන් ඩො.මි. 80ක් රටින් පිටකළැයි ව්‍යාපාරිකයා රිමාන්ඩ්

භාණ්ඩ ආනයනය මුවාවෙන් ඩො.මි. 80ක් රටින් පිටකළැයි ව්‍යාපාරිකයා රිමාන්ඩ්

11 September 2026 | •ඉෂාර රත්නකාර •නයෝමි කරුණාසිංහ

මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් නීතිවිරෝධී අයුරින් විදෙස් රටවලවලට යැවීමේ සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මෙම මස 17 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම ඊයේ (10 වැනිදා) නියෝග කළේය.


මරදාන ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ෆාස් නමැති සැකකාර ව්‍යාපාරිකයා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.


පැමිණිල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සමග නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.


“ස්වාමීනී, මොහුට අයත් සමාගම් 26න් එකඳු සමාගමකින්වත් කිසිඳු භාණ්ඩයක් ගෙන්වලා නැහැ. භාණ්ඩ ගෙන්වන බවට ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන කූඨ ලේඛනයි. මෙවැනි සමාගම් මගින් රුපියල් බිලියන ගණනින් සූක්ෂ්ම ලෙස රජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මුදල් යවලා තිබෙනවා. ශ්‍රී ලංකා රේගු පනතට අනුව විමර්ශන සිදුකරනවා. මොහු යවපු මුදල් ඔහුගේ මුදල් නොවෙයි. ඔහුට මුදල් දුන් අය පිළිබඳව විමර්ශන සිදුකරන්න අවශ්‍යයි. මේ පුද්ගලයා සාක්ෂි විනාශ කරලා තිබෙනවා. විමර්ශන කටයුතුවලට බලපාන සාක්ෂි විනාශ කරන්න කටයුතු කරලා. ඔහු ඇප මත මුදාහැරියහොත් ඉදිරි විමර්ශන වලට බාධාවක් වෙනවා. එම නිසා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටිනවා.’’


සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු පිටකොටුවේ ව්‍යපාරිකයකු බවත් ඔහු කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති හෙයින් ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.


විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා මුදල් විදෙස් රටවලට ප්‍රේෂණය කරන සමාගම් කිහිපයක් පිළිබඳව රේගුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබූ අතර එහිදී මෙම සැකකාර ව්‍යාපාරිකයා ගැන තොරතුරු අනාවරණය වී තිබිණි.


ඔහු 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට 2025 නොවැම්බර් 21 වැනිදා දක්වා කාලයේදී මෙරටින් ඇමරිකානු ඩොලර් මිලියන 80ක මුදලක් එනම් රුපියල් බිලියන 23කට අධික මුදලක් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

රජයේ හා පෞද්ගලික බැංකු 6කින් සමාගම් 26ක නම්වලින් අවස්ථා 3198කදී ඔහු විසින් මෙලෙස මුදල් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලදී හෙළිවිය. ඒ අනුව මෙම ව්‍යාපාරකයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් පෙරේදා (09 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබිණි.


සැකකරු චීනයෙන් සහ ඉන්දියාවෙන් රූපලාවණ්‍ය භාණ්ඩ ගෙන්වන බව පවසා අදාළ මුදල ප්‍රේශණය කර ඇති බවද ටෙලිග්‍රැෆික් ට්‍රාන්ස්ඇක්ෂන් හෙවත් ‘ටී.ටී. ක්‍රමය’ යටතේ අදාළ මුදල් යවා ඇති බවද පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

සැකකරු සාක්ෂරතාව අඩු සහ ඔහු යටතේ සේවය කළ පිරිස් යොදාගෙන අදාළ බැංකු ගිණුම් විවෘත කර ඇති බවද ඒ සඳහා එක් පුද්ගලයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බවද විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබේ.

එසේම මෙම සැකකරු මුදල් අවප්‍රමාණය කරමින් භාණ්ඩ ගෙන්වීම සිදුකර ඇති බවත් බැංකු පද්ධතියෙන් ඔහු පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදුකර නොමැති බවත් අනාවරණය වුවද ඔහු හරහා මුදල් යොමුකළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් හෙළි වී නොමැති බව විමර්ශන නිලධාරිහු පැවසූහ.

 

More News..