brand logo
logo
22 වැනි සංශෝධනයේ තවත් අවදානමක්

22 වැනි සංශෝධනයේ තවත් අවදානමක්

18 August 2026


අද (2026 අගෝස්තු 18 වැනිදා) ජාතික ජන බලවේග ආණ්ඩුව තුමුන් බලයට පත්වීමෙන් පසු ගත් සාවද්‍යම තීන්දුව ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් තබන බව සංවේගයෙන් සඳහන් කරමු. ඒ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. ජාත්‍යන්තර සංවිධානවලින්ද, විපක්ෂයෙන්ද, නීතිඥ ප්‍රජාවෙන්ද, පහළ අධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන්ද, ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගෙන්ද, ජන මාධ්‍යයෙන්ද ඊට විරුද්ධව පැන නැගුණු විරෝධය නොතකා මේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යෑම සැහැල්ලුවෙන් ගත හැකි කාරණයක් නොවේ.


ජාජබ මිතුරෝ පමණක් නොව සතුරෝද මේ ආණ්ඩුව මෙතෙක් පැවති ආණ්ඩු ගත් මගින් වෙනස් මගක යනු ඇතැයි විශ්වාස කළෝය. එහෙත් ජාජබ ආණ්ඩුව තමුන්ද මෙතෙක් පැවති බලයෙන් දූෂණය වූ ආණ්ඩුවලට නොවෙනස් වග තබන තබන පියවරක් පාසා ප්‍රදර්ශනය කරමින් සිටින්නේය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබූ සෑම ආණ්ඩුවක් මෙන්ම මේ ආණ්ඩුවද තමන්ගේ බලය දිග්ගස්සා ගැනීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොමනා ලෙස භාවිත කරන්නට තනයි.


ඒ අතාර්කික කතාද කියමිනි. ඔවුන් කියන්නේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරන්නේ ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාව අඩුකිරීමටය කියාය. එහෙත් නඩු ගොඩ ගැසී ඇත්තේ උපරිමාධිකරණවල නොව පහළ උසාවිවල යැයි පෙන්වා දුන්කල ඔවුන්ට ඊට කටඋත්තර නැත.


මෙහිදී ආණ්ඩුව නොදැනුවත්වම කරන්නේ අපේ රට ජාත්‍යන්තරයේ නොතකා හැරීමට ලක්වන රටක් බවට පත් කිරීමය. විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නැගෙන විරෝධය ඔවුන් මේ ආණ්ඩුවට ඇති විරුද්ධත්වයක් නිසා සිදුවන්නක් නොවේ. එය ⁣මේ සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර යැයි සලකන නිසා සිදුවන්නක් බව ආණ්ඩුවේ නායකයන් තේරුම් නොගැනීම කනගාටුදායකය.


මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිවේදීන්ගේ සංගමය, විනිශ්චයකාරවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය, ලෝ ඒෂියා සංවිධානය හා ජාතික ප්‍රංශ අධිකරණ සංගමය ආණ්ඩුවේ 22 වැනි සංශෝධනයට විරෝධය පා ඇති සංවිධාන අතර වේ. ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව මෙයාකාරයෙන් අධිකරණයට අත පෙවීම නිසා මහජනතාව අතර අධිකරණය පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටෙන බවය. ආණ්ඩුව මේ සංශෝධනය සිදුකරන්නේ එක්කෙනකු වෙනුවෙන් යැයි නැගෙන චෝදනාව මේ විරෝධයට බලපා තිබේ.


ඉකුත්දා නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ චෝදනාව සහමුලින් ප්‍රතික්ෂේප කළේය. මෙය එක්කෙනෙකු අරමුණු කර නොගෙන සද්භාවයෙන් කෙරෙන්නක් යැයි ඔහු කියා සිටියේය. එසේ නම් දැනට සේවයේ යෙදී සිටින විනිශ්චයකාරවරුන්ට බලනොපාන පරිදි මෙකී සංශෝධනය කරන්නැයි කෙරෙන ඉල්ලීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් පිළිතුරු නැත.


ආණ්ඩුවේ හිතුවක්කාර හැසිරීම රටට දීර්ඝකාලීනව අයහපත් ප්‍රතිඵල ගෙනඑනු ඇතැයි මීට විරුද්ධ වන ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙයි. එය ඉතා පැහැදිලිවම රටේ ආර්ථිකයටද දැඩි බලපෑමක් කරනවා ඇත.


ඊයේ අප මේ තීරුවෙහිලා සටහන් කළේ පසුගියදා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමේ කොන්දේසිවල ඇතිවූ සංශෝධන ගැනය. ඒ අනුව 2028 අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට නම් සපුරාලිය යුතු කරුණු කාරණා වැඩිවී තිබේ. ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීමේ පනත වැන්නක් දිගටම පවත්වා⁣ගෙන ගියහොත් එය රටට අවාසිදායක වනු ඇති බව අපි එහිදී සඳහන් කළෙමු.


දැන් එතැනට මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද එකතුවීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව අපේ නම් අදහසයි. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමේදී සලකා බැලෙන්නේ රටක ආර්ථිකය පිළිබඳ පමණක් නොවේ. 2010 සිට 2017 දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නොලැබී යෑම ගැන කල්පනා කිරීමේදී මේ බව මොනවට පෙනී යයි.


ස්වාධීන අධිකරණයක් නොමැති යැයි ජාත්‍යන්තරය විශ්වාස කරන රටකට ජී.එස්.පී. ප්ලස් වැනි සහනයක් නොලැබී යෑමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. වසර 2028 වන විට ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය සමග ඇති එකඟතාවන් අනුව 2022 පටන් නොගෙවා සිටි ජාත්‍යන්තර ණය වාරිකද රටට ගෙවන්නට සිදුවෙනවා ඇත. ඒ අල්ලපනල්ලේ ජී.එස්.පී. ප්ලස් සහනයද අහිමි වුවහොත් රටට දෙවියන්ගේම පිහිටය!


නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී 22 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඕනෑම අවදානමක් ගැනීමට තමා සූදානම් යැයි ජනාධිපතිවරයා කියා සිටි බව දැන් ඉතා ප්‍රසිද්ධය. එහිදී ඔහු ඒ කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ අවදානම ගැනද සිතා දැයි අපි නොදනිමු. එහෙත් එය නම් රටක් හැටියට ගත යුතු අවදානමක් නොවන බව අපේ නම් කල්පනාවයි.

 

More News..