Best News Website award
brand logo
logo
සුරේෂ් සලේගේ පෙත්සම පිළිබඳ නියෝගය කල් තැබේ

සුරේෂ් සලේගේ පෙත්සම පිළිබඳ නියෝගය කල් තැබේ

27 November 2026

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේද නැද්ද යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා ගැනීම සඳහා නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් සුරේෂ් සලේ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.


මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් මෑතකදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීම සිදුකළ අතර අධිකරණය එහි නියෝගය අද (27) දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබුණි.


එහෙත් මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නිවේදනය කලේ එම නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 28 වනදා සිදුකරන බවය.


ඒ අනුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 28 වැනි දින තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

 

More News..