භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය
04 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය
04 May 2026
"නා ගන්නවා" යැයි යෙදුමක් අපේ පොදු ජනවහරේ තිබේ. එය යොදන්නේ වැඩක් අවුල් කරගන්නවාටය. මේ ආණ්ඩුව වෙන කුමට නැතත් "නා ගැනීමට" නැත්නම් වැඩ අවුල් කරගැනීමට කුප්‍රකටය. ආණ්ඩුව නා ගන්නේ නැතිව ගෙවී යන සතියක් ඇත්තේ නැති තරම්ය. ගිය සතියේ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීමේ ප්‍රවෘත්තියෙන් නා ගත් ආණ්ඩුවට මේ සතියේ නා ගන්නට සිදුවූයේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්වී සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අභිරහස් ලෙස මරණයට පත්වීම නිසාය.
මිලියන 2.5 අතුරුදන් වීම පිළිබඳ නොපැහැදිලි තැන් නැතහොත් සැකකටයුතු තැන් ගණනාවක් තිබෙන බව තවදුරටත් රහසක් නොවේ. පළමුවැන්න ඉකුත් දෙසැම්බරයේදී සිදුවූයේ යැයි කියන මේ සිදුවීම ජනවාරි වනතුරු භාණ්ඩාගාරය දැන නොසිටීමය. දෙවැන්න ජනවාරියේදී දැනගත් අක්‍රමිකතාව සම්බන්ධයෙන් මාර්තු 28 වැනිදා වනතුරු රහස් පොලිසියට පැමිණිලි නොකිරීමය. තෙවැන්න "ෆ්‍රී ලෝයර්ස්" සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එළියට එනතුරු භාණ්ඩාගාරය මේ පිළිබඳව රජයේ මූල්‍ය කටයුතු පිළිබඳ වගකිවයුතු පාර්ලිමේන්තුවට නොදැන්වීමය. සිවුවැන්න මේ බරපතළ සිද්ධිය රහස්‍යව තබාගත්තේ එය ප්‍රසිද්ධ වුවහොත් මුදල් සිය ගිණුම්වලට දමාගත් හැකර්වරුන් සැඟවෙන්නට හැකි නිසා යැයි භාණ්ඩාගාර ලේකම්වරයා කළ හාස්‍යජනක ප්‍රකාශය. පස්වැන්න මේ ක්‍රියාවලියට සම්බන්ධ සුළු මුලාදෑනින් හතරදෙනෙකු වැඩතහනමට ලක්වෙද්දී ඊට අදාළ ප්‍රධානියා වන භාණ්ඩාගාර ලේකම් නිදුකින් සිටීමය.
මේ සියලු කරුණු අඩුවැඩි වශයෙන් රංග නිශාන්ත රාජපක්ෂගේ මරණයට බලපා ඇති බව අපේ කල්පනාවයි. ආණ්ඩුවේ මුදල් කටයුතු කෙරෙන්නේ බලය දීම, අනුමත කිරීම, සහතික කිරීම හා ගෙවීම යන සිවු වැදෑරුම් ක්‍රියාවලිය අනුවයි. මෙහිදී යටත් පිරිසෙයින් බලය දීම සිදුවිය යුත්තේ භාණ්ඩාගාර ලේකම්වරයා විසින් බව අමුතුවෙන් කියන්නට වුවමනාවක් නැත. එසේනම් ඩොලර් මිලියන 2.5ක් එය යා යුතු ගිණුමට නොව හොර ගිණුමකට යෑමේ වැඩපිළිවෙළට බලය ලැබී ඇත්තේ ඔහුගෙනි. එහෙත් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිට මුදල් අමාත්‍යාංශ ලේකම් තනතුරට දේශපාලන පත්වීමක් ලැබූ ඒ පුද්ගලයාව ආණ්ඩුව ආරක්ෂා කරයි. ඒ අතරේ පහළ නිලධාරීන් පිරිසක් පිට වගකීම පැටවෙයි.
මේ අතරේ එක් පිරිසක් රංග රාජපක්ෂගේ මරණය සියදිවි නසාගැනීමක් යැයි කියද්දී තවත් පිරිසක් කියන්නේ එය ඝාතනයක් බවයි. අවංක නිලධාරියෙකු යැයි පිළිගැනීමක් ඇති රාජපක්ෂ මිලියන 2.5 අතුරුදන් වීම සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කළ නිලධාරියාද වේ. ඔහු සේවයේ සිටියදීද එක් වතාවක්ද, වැඩ තහනමට ලක්වී සිටියදී දෙවතාවක්ද රහස් පොලිසියේ කැඳවීම් අනුව කටඋත්තර ලබාදීම සඳහා එහි ගොස් තිබේ. එසේ වී තිබියදී ඔහු සී.අයි.ඩී. පරීක්ෂණවලට සහයෝගය දුන්නේ නැතැයි ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල පතුරවනු ලැබීය. දැන් දැන් අදාළ මුදල් ව්‍යාජ ගිණුමට ගියේ ඔහු අතින් යැයිද දිගින් දිගටම කියනු අසන්නට ලැබේ. මේ මුදල ගෙවීම දහසය දෙනෙකු විසින් අප ඉහත සඳහන් කළ සිව් වැදෑරුම් ක්‍රියාවලියේදී සිදුකර තිබෙද්දී මියගිය තැනැත්තා පිට පමණක් පැටවීමට යත්න දරන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
ඊළඟට මේ වංචාව සිදුවී ඇත්තේ ඔස්ට්‍රේලියානු රජයේ ඊමේල් ලිපිනය වෙනස් කර ව්‍යාජ ඊමේල් එවීමේ උත්සාහයක් පවතින්නේ යැයි භාණ්ඩාගාරයේ සයිබර් උපදේශක සමාගම් විසින් අනතුරු හඟවා තිබියදීය. එවැනි පසුබිමක් යටතේ, අබිරහස් ලෙස මියගිය පහළ නිලධාරියෙකුගේ පිටින් සියලු පව් සෝදා හරින්නට ඉහළ නිලධාරීන්ට කිසිසේත් ඉඩක් නැත.
හැරත් භාණ්ඩාගාරය විසින් ණය ගෙවීම් කිරීමේදී එසේ කරන්නේ ණය ගිවිසුමේ සඳහන් කෙරෙන ආපසු ගෙවිය යුතු ගිණුම් අංකයට පමණය. ඒ ගිණුම් අංකය වෙනස් කරන්නේ නම් එසේ කරන්නේ ඒ ඉල්ලීමේ නිරවද්‍යතාවය තහවුරු කරගෙන මුල් ගිවිසුම වෙනස් කිරීමෙනි. එය එසේ කිරීමට එක පහළ නිලධාරියෙකුට නොහැකි අතර එය නිසැකවම ඉහළම නිලධාරින්ගේද අනුමැතිය ඇතිව සිදුවිය යුතු ක්‍රියාවකි. එසේ හෙයින් අබිරහස් ලෙස මරණයට පත්වූ නිලධාරියාගේ පිටින් පාප දෝෂයන් යැවීමට උත්සාහයක් සිදුවේ නම් ඒ ඉතා සැකකටයුතුය. එපමණක් නොවේ. මරණය සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් යැයි පැතිරෙන කටකතාවලටද උල්පන්දම් දීමක්ද වෙයි.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය දීර්ඝකාලීනව රාජ්‍ය පාලනයට අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබේ. ඒ රජයේ නිලධාරීන් ඉදිරියේදී වගකීම් භාරගැනීමට පසුබෑමෙනි. සැබෑ නායකයෙකු ප්‍රශ්නයකදී වගකීම භාරගැනීමට ඉදිරියට පැමිණිය යුතු වුවත්, පහළ නිලධාරීන් බිල්ලට දී තමන් ගැළවෙන්නට උත්සාහ කරන ප්‍රධානීන් සමග යන ගමනකදී රටට දෙවියන්ගේම පිහිටය.

