රොබෝවරුන්ගේ වාසභූමියේ ෂී - ට්‍රම්ප් - පුටින් රහසිගත සාකච්ඡාවක
21 November 2026 | හර්ෂණී දිසානායක
රොබෝවරුන්ගේ වාසභූමියේ ෂී - ට්‍රම්ප් - පුටින් රහසිගත සාකච්ඡාවක
21 November 2026 | හර්ෂණී දිසානායක
‘‘යෝල්ටා’’ යනු වසර අසූ එකකට ඉහතදී ක්රිමියානු අර්ධද්වීපයේ පිහිටි යෝල්ටා නගරයේදී හිටපු ඇමරිකානු ජනපති ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය හිටපු අගමැති වින්ස්ටන් චර්චිල් සහ එවක සෝවියට් දේශයේ නායක ජෝසප් ස්ටාර්ලින් යන රජ තුන් කට්ටුව මුහුණට මුහුණ හමුවූ මොහොතයි. ඒ වගේම යෝල්ටා නගරයේ පැවැති හෙයින් මේ සාකච්ඡාව එකල ප්‍රසිද්ධ වූයේ 'යෝල්ටා සමුළුව' කියාය.
චීනයේ ෂෙන්සෙන් නගරයේ කිලින් කන්ද පාමුල පිහිටි කයිලින් මන්දිරයේ දැඩි ආරක්ෂක රැකවල් මැද යෝල්ටා දෙවැනි කොටස දිග හැරුණේය. මෙහි ප්‍රධාන චරිත වූයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනපති ෂී ජින්පින් සහ රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින් ය.
යෝල්ටා දෙවැනි කොටස කීවාට සැබැවින්ම එය යෝල්ටා නොව ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවයි. මෙය රුසියානු මාධ්‍ය හැඳින්වූයේ "යෝල්ටා 2.0" කියාය. එහෙයින් ලෝක මාධ්‍ය මේ සමුළුව හැඳින්වූ අන්වර්ථ නාමයත් රුසියාවෙන් උපත ලැබූ "යෝල්ටා 2.0" යන්නයි.
හිටපු රජ තුන් කට්ටුව යෝල්ටා හි මුණ ගැසුණේ දෙවැනි ලෝක යුද්ධයෙන් බැට කෑ යුරෝපය එයින් ගොඩගැනීමට අවැසි ආර්ථික උපායමාර්ග පිළිබඳව සාකච්ඡා පැවැත්වීමටය. ඒ ලෝකයට ප්‍රසිද්ධ කළ කතාවය.
ආර්ථික සහ යුද මට්ටම අතින් එවකට ලෝක බලවතුන්ව සිටී මේ රජ තුන් කට්ටුව පමණක් එකතු වී යුරෝපයේ ආර්ථිකය ගොඩගන්නට සැලසුම් සකස් කිරීම යුරෝපයටත් චකිතයක් ඇති කළේය. ඊට හේතුව මේ තිදෙනා හමුවීමේ සැබෑ අරමුණ කුමක්දැයි කියා ලෝකයාට රහසක් වූ නිසාය.
ඒ රහස් සමුළුවේ ප්‍රතිඵල කරළියට ආවේ සමුළුව නිමාවට පත්වී මාස හතක් ගිය පසු ය. ඒ දෙවැනි ලෝක යුද්ධය නිමාව, ජපානය යුදමය වශයෙන් අඩපණ කිරීම, ජර්මනිය යුද වන්දි ගෙවිය යුතු බව යන තීන්දු තීරණ ගත්තේ මේ තිදෙනාම වන නිසාය. කොටින්ම යුරෝපයට ආර්ථික පුනර්ජීවනය නොව යුද බිය ඇති කළ සමුළුව 'යෝල්ටා සමුළුව' බව හැඳින්වේ.
"යෝල්ටා 2.0" ලෙස හැඳින්වෙන ඇපෙක් හෙවත් ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව චීනයේ ෂෙන්සෙන් නගරයේ පැවැත්වූයේ තිස් තුන් වැනි වරටය. මෙවර මෙහි අරමුණ වූයේ ආසියා පැසිෆික් කලාපයේ ආර්ථිකය ගොඩදාන්නේ කෙසේද කියාය. එහිදී ලෝක නායකයන්ගේ ප්‍රධාන මාතෘකාව වූයේ ලෝකයම කැලඹු AI තාක්ෂණයට සීමාමායිම් දැමිය යුත්තේ කෙසේදැයි කියාය.
ඔස්ට්‍රේලියාවේ කැන්බරාහී 1989 වසරේදී උපත ලැබූ ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව අරඹන විට එකල සිටියේ සාමාජික රටවල් දොළහක් පමණි. අද වන විට එහි සාමාජික රටවල් ගණන විසි එකක් දක්වා වර්ධනය වී ඇත.
ආසියා - පැසිෆික් සහයෝගීතාවයේ ආර්ථිකයන් ගත් විට එහි තාක්ෂණික ප්‍රබලයෝ ලෙස කැපී පෙනෙන්නේ ඇමරිකාව, චීනය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානයයි. වෙළෙඳ සහ මූල්‍ය ක්ෂේත්රයන්හි ප්‍රබලයෝ ලෙස කප් ගසා ඇත්තේ සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍යයයි. ලෝකයටම නැතිවම බැරි ස්වාභාවික සම්පත් සහ බලශක්තියේ උල්පත් ඇත්තේ රුසියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව සහ බෲනායි රාජ්‍යයන් සතුවය.
ඊට අමතරව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන් හිමි අග්නිදිග ආසියාවේ ප්‍රබලයන් වන ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේසියාව සහ පිලිපීනයත් මෙහි ආර්ථිකයන් ය. ඒ වගේම ලතින් ඇමරිකානු කලාපය හා ගනුදෙනු පවත්වන කලාපීය නියෝජිතයන් වන මෙක්සිකෝව, චිලි සහ පැපුවා නිව්ගිනියාවත් අග්නිදිග ආසියාව ගිය පාරේම යයි.
ඔවුහු නිකම්ම නිකං සමුළුවක් වටා එකතු වූ රාජ්‍යයන් නොව ගෝලීය ආර්ථිකයේ දිශානතිය හැරවිය හැකි ආර්ථික ඵලදාවන්ගෙන් යුක්ත ආර්ථික මැවීම් කළ හැකි රාජ්‍යයන්ය. තාක්ෂණික, වෙළෙඳ සහ මූල්‍ය, ස්වාභාවික සම්පත් හා බලශක්තිය සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකය කියන්නාවූ ප්‍රධාන අවි ඔස්සේ සන්නද්ධ වූ මැවීම් බලය හිමි බලවතුන්ය.
මෙහි සතුරෝ ද වෙති. මිතුරෝද වෙති. එහෙයින් ආසියා - පැසිපික් ආර්ථික සහයෝගීතා සමුළුව තම සාමාජිකයන් හඳුන්වන නිල නාමය "ආර්ථිකයන්" කියාය. මේ පදය නිසා ආසියා - පැසිෆික් සහයෝගීතාවයේ ආයුෂ ද වැඩි වූයේය.
එසේ බලන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හැටක බරක් දරන සහ ලෝක වෙළෙඳාමෙන් හරි අඩකට වඩා හිමිකාරීත්වය ඇති මේ ආර්ථිකයන් ලෝක ආර්ථිකයේ මැජික්කරුවන්ය.
වසරකට එක් වතාවක් හෝ ලෝක ආර්ථිකය මට්ටු කරන මේ ආර්ථිකයන් විසි එක එකට හමුවීම ලෝක පුවත් මවන්නක් වූයේ එබැවිනි. මෙදා ඒ ලෝක පුවත් මැවීම යුරෝපයට බියක් ගෙන දුන්නේ ආර්ථික සමුළුවට පරිබාහිරව පැවැත්වූ වත්මන් රජ තුන් කට්ටුවේ හමුව නිසාය.
මේ රජ තුන් කට්ටුවේ ‘‘ලොකු අයියා’’ වන ඇමරිකානු ජනපති, ‘‘මද්දුමයා’’ වූ චීනය සොයා එන්නේ පිලිපීනයේ මැනිලා අගනුවර සිටය. ඒ පිලිපීනයේ පැවැත්වූ ආසියාන් හෙවත් අග්නිදිග ආසියානු රටවල ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් පසුවය. මේ සමුළුවේ ප්‍රධාන අමුත්තන් ලෙස ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීසි සහ ජපන් අගමැතිනි සනේ ටකේෂි යන අයත් සහභාගී වූහ.
නව ලොව ජය ගන්නා තාක්ෂණික ප්‍රබලයා වන ඉන්දියාව සහ තාක්ෂණික දැනුමේ උල්පත වන ඇමරිකාව අග්නිදිග ආසියාවට අමුත්තන් වී ඔවුහු සිය මිත්‍රකම් අලුත්කර ගත්හ. මේ සමුළුවෙන් අනතුරුව අග්නිදිග ආසියානු රටවල සාමාජිකයන් කිහිපදෙනකු සහ ඉන්දියාව හැර අනෙකුත් ආරාධිත භවතුන්ගේ ගමනාන්තය වූයේ චීනයයි.
එදා ඇමරිකානු සංචාරයකට එක් වූ චීන ජනපතිව පිළිගන්නට ඇමරිකානු ගුවන් හමුදා කඳවුරට ආ ඇමරිකානු ජනපතිගේ ක්‍රියාව අගය කිරීමක් ලෙස චීන ජනපති ෂී ජින්පින් ද ඇමරිකානු ජනපති පිළිගන්නට ගුවන් යානයේ පිටත පිවිසුම් දොරටුව අසලටම ගියේය. මෙය හුදෙක් රාජතාන්ත්‍රික පිළිගැනීමක් නොව ලෝක දේශපාලන ඉතිහාසයට එකතුවන ඓතිහාසික පිළිගැනීමකි. ඒ චීන ජනපතිවරයෙක් ඇමරිකානු ජනපතිවරයකු පිළිගන්නට ගුවන්තොටුෙපාළට ආ පළමු අවස්ථාව මෙය වන නිසාය.
අනෙක් අතට ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලනික වැලඳ ගැනීමක් මෙය යැයි කියා හරියටම දුටුවෙත් මෙහිදී ය.
වෙනදා කිසියම් රටක නායකයකු වෙනත් රටකට පැමිණි විට ඔහුව ගුවන්තොටුෙපාළේදී පිළිගැනීමට ඇති සාම්ප්‍රදායික පිළිවෙත අතට අත දීමයි. ශ්‍රී ලාංකීය හුරුවට නම් පිළිගන්නේ 'ආයුබෝවන්' කියාය. ඉන්දියාවේ සම්ප්‍රදායට අනුව 'නමස්තේ' කීම සිරිතයි. ඉන් අනතුරුව මල් කළඹක් පිළිගැන්වීම රාජතාන්ත්‍රික සුහදභාවයේ ලක්ෂණයයි.
ඒත් චීනයේ ෂෙන්සෙන් හී බාඕආන් ජාත්‍යන්තර ගුවන්තොටුෙපාළට ආ ඇමරිකානු ජනපතිව පිළිගන්නට ගුවන්යානයේ තරප්පු පෙළ පාමුල සිටි චීන ජනපති ෂී, ජනපති ට්‍රම්ප්ව පිළිගත්තේ තදින් වැලඳගෙනය. ෂීගේ ඒ දේශපාලන හැසිරීම දේශපාලන විශ්ලේෂකයන්වත් මවිත කරන්නක් විය.
ඇමරිකානු ජනපති චීන සංචාරයට ප්‍රථම ඇමරිකාවේදී දේශපාලන ගැටුමකට මැදිවිය. ඊට හේතුව මධ්‍ය වාර මැතිවරණය නොව ඔහුගේ හිතවතා වන එන්වීඩියා සමාගමේ විධායක අධ්යක්ෂ ජෙන්සන් හුආං හා චීන ඔත්තුකාරියක් අතර ඇතිවූ රහසිගත පටලැවිල්ල නිසාය. එයට පැටලුණු ජෙන්සන්ම එය ලිහාගත යුතු යැයි සිතූ ට්‍රම්ප් දේශපාලන මුනිවත රැක්කේය.
ඇමරිකානු අභ්‍යන්තර බුද්ධි ඒජන්සිය ජෙන්සන්ගේ අනියම් පෙම්වතිය චීන ඔත්තුකාරියෙක් යැයි කියනා විට චීන විදේශ අමාත්‍යාංශය එය සාහසික බොරුවක් බව කියමින් පිළිතුරු බැන්දේය. එසේ දිග හැරුණු මත ගැටුම අතරතුර මෙසේ වැලඳ ගැනීම මුරුගසන් වරුසාවකට හසුව නොතෙමී එකම කුඩයක් යටට යෑමක් වැනිය.
ඇමරිකාව හා චීනය මෙසේ වැලඳ ගන්නා විට ජපාන අගමැතිනියට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. ඇයව පිළිගැනීමට රතු පලස් නැත. ජය ඝෝෂා නගන දරුවන් නැත. ඊට ප්‍රධානම හේතුව ජපානය සිය හමුදා බලය ගොඩනැගීමට ජපාන ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන නිසාය. මේ හේතුවෙන් චීනය තමන්ගේ කරගන්නට බලා සිටින තායිවානය ඔවුන්ගෙන් බිඳී යාදෝ යන සැකයක් චීනයට පවතී. අනෙක් අතට ජපානයේ දේශපාලන තර්කය වන්නේ තායිවානය චීනයේ කොටසක් නොව ස්වාධීන රාජ්‍යයක් කියාය. මේ හේතු කාරණාවන් නිසා ජපාන අගමැතිනි සනේ ටකේෂීට චීනයෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය.
කෙසේ වෙතත් ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට ආ රාජ්‍ය නායකයෝ විසිදෙනා එනම් තායිවානය හැර අනෙක් රාජ්‍යයන් විස්ස පොදුවේ හමුවී පොදුවේ සතුටුවී පොදුවේ ආහාර ගෙන එකිනෙකා සමගින් පැය භාගයක වැනි කාලයකදී දේශපාලනික සාකච්ඡා පවත්වා සතුටින් විසිර ගියහ. එසේ විසිර යන විට රජ තුන් කට්ටුව පමණක් චීන ජනපතිට අයත් ෂී පරපුරේ උරුමයක් වෙත ගියේ රහසිගත සාකච්ඡා අරඹන්නටය.
ඒ සඳහා තෝරා ගත් නිවාඩු නිකේතනයත් ෂීලාට විශේෂය. එහි නම ‘‘කයිලින් විලා ය.’’ මෙය චීන ජනපති ෂී ජින්පින්ගේ පියාවන ෂී ෂොංක්සුන් ජීවිතයේ අවසන් කාලය ගත කළ ඔහුම තැනූ මන්දිරයයි. මේ මන්දිරයට උතුරු කොරියාවේ නායක කිම් ජොං ඉල් පවා ආව ගිය අධි ආරක්ෂිත මන්දිරයකි. කිම් ජොං ඉල් යනු උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ පියාය.
කයිලින් විලා පිහිටි නගරය වන ෂෙන්සෙන් ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව පවත්වන්නට තෝරාගත්තේ එහි ඇති තාක්ෂණික වටිනාකම නිසාය. කොටින්ම මේ නගරය ඉතිහාසඥයන් හඳුන්වන්නේ "ඉතිහාසයක් නැති නගරයක්" කියාය. අනෙක් අතට මේ නගරයට කබල් ගාන්නට තරම් මහානර්ඝ පරම්පරාවක් ද නැත.
දකුණු චීනයේ ගුවැන්ඩොං පළාතට අයත් ෂෙන්සෙන් නගරයේ වත්මන් ජනගහනය මිලියන 18කට ආසන්නය. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය වාගේ හතරෙන් තුනකි.
ෂෙන්සෙන් මුල් කාලයේ පැවැතියේ නමක් ගමක් නැති ධීවර ගම්මානයක් ලෙසය. මුළු නගරයටම සිටියේ තිස් දහසක ජනතාවකි. ඔවුන්ගෙන් කොටසක් ධීවර කර්මාන්තයේ යෙදෙන අතර තවත් කොටසක් ඌරු මස් වෙළෙඳාමේ සහ ගොවිතැන් කටයුතුවල නිරත වූවෝ වෙති.
චීනයේ මහා නායකයා මාඕ සේතුංගේ මරණයෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වන ඩෙන් ෂියාඕපින් චීනය ලෝකයට විවෘත විය යුතු යැයි සිතුවේය. ඒ ඔස්සේ විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙන ආවේය. ඊට හසුවූ එක් නගරයක් වන්නේ එකල නමක් ගමක් නොවූ වත්මන් ෂෙන්සෙන් නගරයයි. මෙහි විශේෂ ආර්ථික කලාපයක් ගොඩනැගිය යුතු බව සිතූ ඩෙන් ෂියාඕපින්, එහි ධීවර වරාය ඉවත්කර මහ වරායක් ගොඩනැගුවේය.
සීමිත ජනගහනයක් වාසය කළ අසීමිත භූමි ප්‍රදේශයක් ඇති ෂෙන්සෙන් හි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි. මේවා ඉදිවන්නේ ගොවිතැන් කළ භූමි වසා කොන්ක්‍රීට් තට්ටු දැමීමෙනි. එසේ කළහොත් ගොවියාට තම ජීවිකාව අහිමිවන බැවින් ඒ සඳහා විකල්පයක් ලෙස ඔවුන්ට සිය ගොවි ඉඩම් කට්ටි කර විකිණීමට හෝ ගොවි බිම් මැදින් සුවිසල් ගොඩනැගිලි තැනීමට ණය මුදල් පිරිනැමීමට ආණ්ඩුව කටයුතු කළේය. එයින් ඔවුන්ට ගොඩනැගිලි තනා ඒවා කුටියට දී ජීවිකාව සරිකර ගැනීමට හැකි වෙතැයි ආණ්ඩුව සිතුවේය.
අදටත් ෂෙන්සෙන් ගියවිට දකින්නට ලැබෙන්නේ අහස සිදුරු කරනා ගොඩනැගිලි ඒවායේ ප්‍රතිඵලය. අදටත් එහි වැසියෝ සිය ගොවි ඉඩමේ තැනූ ගොඩනැගිලි කුලියට දී ජීවත් වෙති.
නමක් ගමක් නැති මේ නගරයට ෂෙන්සෙන් කියා නම් තැබුවේ එකල චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළ ෂී ජින්පින්ගේ පියා වන ෂී ෂොංක්සුන් ය. ඔහු මේ නගරය ෂෙන්සෙන් ලෙස නම් තැබුවේ "ගැඹුරු අගල" යන අර්ථයෙනි. කොටින්ම මෙය පසු කලෙක වරනැගුණේ සාමයේ නගරය කියාය.
මේ නගරයේ අද සංචාරයක නිරත වුවහොත් දැනෙන්නේ තමන් මේ සිටින්නේ 2026 නොව 2050 අවුරුද්දේ කියාය. ඒ තරමට ලොව කොහෙන්වත් සොයා ගත නොහැකි තාක්ෂණික ලෝකයක් ෂෙන්සෙන් නගරය සතුය. මෙහි කෘත්‍රිම බුද්ධියේ නිර්මාපකයන් උපදියි. කොටින්ම මේ නගරය සමාන වන්නේ ඇමරිකාවේ සිලිකන් නිම්නයටය. එනම්, චීනයේ අධි තාක්ෂණික බලවතුන්ගේ අගනගරය ෂෙන්සෙන් නගරයයි.
අද මෙහි ආයතනික ආරක්ෂක නිලධාරීන්, පාරේ වාහන හසුරවන්නට සිටින පොලිස් නිලධාරියා, ආපනශාලාවේ වේටර්වරයා, පාසලේ ගුරුවරයා, රෝහලේ වෛද්‍යවරයා ඇතුළු ප්‍රධාන ක්ෂේත්රයන්හි කටයුතු කරන්නේ මනුෂ්‍යයන් සහ මානව රූපී රොබෝවරුන් ය. එයත් භාගෙට භාගයක් ලෙසය.
ලංකාවේ ආහාරපාන ආදිය බෙදා හැරීම කරනුයේ මිනිසුන් විසිනි. ඒත් චීනයේ ෂෙන්සෙන් නගරයේ ආහාරපානවල සිට සැහැල්ලු ද්‍රව්‍ය පවා බෙදා හරිනු ඇත්තේ ඩ්‍රෝන යානා මගිනි. එහි ඩිලිවරි රස්සාවට මිනිසුන් නැත. ඇත්තේ කෘත්‍රිම බුද්ධියෙන් සැකසූ රොබෝවරු පමණි.
ඒ තරමටම මේ නගරය වෛවර්ණ වී ඇත්තේ පණ නැති රොබෝවරුන්ගෙන්ය. මෙවර එහි පැවැත්වූ ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව පැවැති රාජ්‍ය නායකයන් පිළිගැනීමේ උත්සවයේදී නර්තනාංග ඉදිරිපත් කළේත් රොබෝ නර්තන කණ්ඩායම් ය.
රාජ්‍ය නායකයන්ට ගුවන්තොටුෙපාළේ සිට සමුළුව පැවැත්වෙන ශ්රවණාගාරයට යන පාර වැටී ඇත්තේ ඉහත කී ආයතන සහ රොබෝවරුන්ගේ වාස භූමි හරහාය. මේ චීන ජනපති චීනයේ තාක්ෂණික සමෘද්ධිය ලෝකයට පෙන්වූ අයුරුය.
බොහෝ අවස්ථාවලදී රාජ්‍ය නායකයකු ගමන් කරන්නේද නැද්ද පවා දැකගත නොහැකි තරම් ආරක්ෂාවක් සහිත වාහන පෙළක් අතරින් ගමන් කළ ඇමරිකානු ජනාධිපතිවරයා, තමන් ගමන් ගත් රථයේ වීදුරුවේ තිරය පහත් කර ෂෙන්සෙන් නගරයේ තාක්ෂණික සිරිය නැරඹුවේය. ඔහු පිළිගැනීම සඳහා මාර්ග දෙපස රැඳී සිටි ෂෙන්සෙන් නගරවාසීහු ජනාධිපතිවරයා දැක ප්‍රීති ඝෝෂා නැගූහ.
ලෝකයා චීනයේ සහ ඇමරිකාවේ දේශපාලන බැඳීම මෙය යැයි කියා විවිධ වූ තර්ක විතර්ක කලත් නව ලෝකයේ නව නගරය වන ෂෙන්සෙන් නගරවාසීහු ජනපති ට්‍රම්ප්ව දුටුවේ චීනය සහ ඇමරිකාව යා කරන පාලම ලෙසය. ඊට සැඟවුණු හේතුව චීනයේ තාක්ෂණික විප්ලවයට ඇමරිකාවේ තාක්ෂණ ඥානය නැතිවම බැරි නිසාය.
කෙසේ වෙතත් අධි ආරක්ෂිත කලාපයක හමුවූ රජ තුන් කට්ටුව පැය එකහමාරක කාලයක් සාකච්ඡා පැවැත්වූහ. ඒ සාකච්ඡාවල ප්‍රධානම මාතෘකාව වී තිබුණේ යුද්ධය නොව ඊට හේතුකාරක වන න්‍යෂ්ටික අවි භාවිතයයි. මේ මාතෘකාව කතා කළ හැකි හොඳම තිදෙනා වන්නේත් මේ තිදෙනාමය. ඊට හේතුව ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් මහ මොළකරුවන් වන්නේ ඇමරිකාව, රුසියාව සහ චීනය බැවිනි. ඔවුන් තිදෙනාගේම පැය එකහමාරක කතාවේ සාරාංශය වූයේ න්‍යෂ්ටික අවි භාවිතයට සීමා පැනවිය යුතුයි කියාය. ඒ වගේම තිදෙනාගේ සාමය ලෝක සාමයට හේතුවක් වන බවත් මෙහිදී කතා විය.
මේ පැය එකහමාරක සාකච්ඡාව අවසන් වී ජනපති ට්‍රම්ප් ඇමරිකාවට යන්නට පිටත් වන විට ජනපති ෂී සහ අගමැති පුටින් එකම වාහනයක නැගී තවත් ගමනක් ගියහ. ඒ පුටින්ගේ ගමනාන්තයට ඔහුව පිටත් කර යැවීමටය.
මේ රහසිගත සාකච්ඡාවට පෙරාතුව ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව ට්‍රම්ප්, ෂී සහ පුටින් වෙන වෙනම සාකච්ඡා පැවැත්වූහ. ඒ අතරේ ෂී සහ ට්‍රම්ප් අතර පැවැත්වූ සාකච්ඡාවට ගත වූයේ පැය දෙකකි. ෂී සහ පුටින්ගේ සාකච්ඡාවට පැය දෙකක්ද වෙන් වනවිට පුටින් - ට්‍රම්ප් අතරේ පැවැත්වූ සාකච්ඡාව ගතවූයේ පැයක කාලයකි. මේ සෑම සාකච්ඡාවක්ම පැවැත්වූයේ ෂීගේ පරම්පරා උරුම බිමේය.
මේ සෑම සාකච්ඡාවක්ම කැමරාවලට අගුළු දැමූ ඒවාය. ඒත් ට්‍රම්ප් සහ පුටින් සාකච්ඡාව අරඹන්නට පෙරාතුව හමුවූ මොහොතේ ජනපති ට්‍රම්ප්, ජනපති පුටින්ව සිය හොඳම මිතුරා ලෙස හඳුන්වා දීම වයිරල් වූ ලෝක කතාවකි. ඊටත් වඩා වයිරල් වන කතාවක් කීවේ පුටින් සමග සාකච්ඡා පැවැත්වූ චීන ජනපතිය. ඔහු මාධ්‍ය අමතමින් කීවේ "අපේ මිතුදම කුණාටුවලට හසුව නොසැලෙන කන්දක් සේ ස්ථාවරයි." කියාය.
එසේ නම් මේ සාකච්ඡා තවත් යුද්ධයක සේයාවක් ද නැතිනම් මිතුරු හමුවක් ද කියා කියන්න වන්නේ ඉදිරියේදීය.


