මහ වැස්සෙන් ඇති විය හැකි රෝග වැස්ස
27 October 2026 | •සටහන - චම්පිකා දීපානි රණසිංහ
මහ වැස්සෙන් ඇති විය හැකි රෝග වැස්ස
27 October 2026 | •සටහන - චම්පිකා දීපානි රණසිංහ
මුරුගසන් වැසි සිතෙන් මැවෙන මහ වැසි මේ වන විට ශ්රී ලංකාවට ඇද හැලෙමින් පවතී. මහ වැස්සක් යනු වැසි නිසාම ඇතිවන රෝග ද වර්ෂාවකි. මෙවැනි කාලගුණ තත්ත්වයක් උදා වීමට පෙරම ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා අවදානම පිළිබඳ රතු එළි දැල්වී තිබිණි. ඩෙංගු 2017 අවාසනාවන්ත වාර්තාවට ආසන්න වෙමින් තිබියදී සෞඛ්ය බලධාරින් කියා සිටියේ සති කිහිපයක සිට ඉන්ෆ්ලුවෙන්සාවද වැඩි වෙමින් පවතින බවය. ඔක්තෝබර් මාසයේ මුල් සති කිහිපය වන විට ඉන්ෆ්ලුවෙන්සා කියා සැක කළ රෝගීන්ගෙන් ගත් රුධිර සාම්පලවලින් සියයට තිස් පහකින්ම හෙළිවූයේ ඉන්ෆ්ලුවෙන්සාවලට ගොදුරු වී ඇති බවය. මේ දිනවල වේගයෙන් රට පුරා පැතිරෙන වයිරස් රෝග අතර ඉන්ෆ්ලුවෙන්සාව පෙරමුණට පත්වී ඇත.
ඉන්ෆ්ලුවෙන්සා අවදානම පිළිබඳ රතු එළියක්
ඉන්ෆ්ලුවෙන්සාවත් සෙම්ප්රතිෂ්යාව හා සමාන වයිරස් රෝගයක් වුවත් බොහෝ විට ඇඳ විවේකයෙන් පමණක් සුවපත් වන නමුත් අප රෝගයෙන් වැළකීමට අවශ්ය සෑම පියවරක්ම ගත යුතුය. අපේ නාසය, උගුර, පෙණහලු, ඇතුළු ශ්වසන පද්ධතියටම බලපාන ඉන්ෆ්ලුවෙන්සාව භයානක නොවුණත් භයානක වෙන්න පුළුවන් විශේෂ කණ්ඩායමක් සිටිති. ගැබිනි මවුවරුන්, කුඩා දරුවන්, වයෝවෘද්ධ අය, බෝ නොවන රෝගවලින් පීඩා විඳින අය ඒ අතර සිටිති. ලෙඩ තියෙන, ප්රතිශක්තිය අඩු අය (රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු අය) ඒ අතරින් විශේෂයි. අප දැන් ගත කරන්නේත් ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන කාලයකය. ලෝක සෞඛ්ය සංවිධානයට අනුව පසු ගිය සති කිහිපය තුළ, ආසියානු සහ අපේ වගේ නිවර්තන කලාපීය රටවල් කිහිපයක A (H1N1) pdm09 නම් වයිරස් ප්රභේදය වාර්තා වීමේත් වැඩි වීමක් දක්නට ලැබී තිබේ. නොවැම්බර් සිට ජනවාරි දක්වා කාලයේ සාමාන්යයෙන් ලංකාවේ ඉන්ෆ්ලුවෙන්සා වැඩියෙන් වාර්තා වෙන කාලයක් වන අතර වැසි සමය රෝග ව්යාප්තිය දෙගුණ තෙගුණ කළ හැකි බව අප අමතක නොකළ යුතුය. සබන් ගා අත් සේදීම, මුහුණු ආවරණයක් පැලඳීම වැනි යහපත් සුව පුරුදු පවත්වා ගෙන යාම මෙවැනි කාලයේ ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු බොහෝ බෝවන ශ්වසන රෝගවලින් ආරක්ෂා වීමට හේතුවේ. මේ කාලයේදී උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, ඇඟපත වේදනාව, හිසරදය, තෙහෙට්ටුව, වෙවුලීම වැනි ලකුණු ඇති වුණොත් වහාම වෛද්ය ප්රතිකාර ගත යුතුය. දරුවන්ට නම් ඉන්ෆ්ලුවෙන්සා වැලඳුණු විට වමනය, පාචනය ඇති විය හැකිය.
රෝගයෙන් ආරක්ෂාවීමට කළ හැකි දේ
ඉන්ෆ්ලුවෙන්සා සඳහා විශේෂ පරීක්ෂණ කළ යුතුය. මේ පරීක්ෂණ සඳහා අධික මුදලක් වැයවෙයි. දැනට අත්යවශ්ය පුද්ගලයන්ට පමණක් වෛද්යවරුන් විසින් මේ පරීක්ෂණ නිර්දේශ කරනු ලබයි. කොළඹ වෛද්ය පර්යේෂණ ආයතනයත්, මහනුවර අණුක වයිරසවේදී රසායනාගාරයේත් දැනට රෝගය සඳහා පර්යේෂණ සිදු කෙරෙයි.
දියුණු රටවල් ගණනාවකම ඉන්ෆ්ලුවෙන්සා වයිරසය පැතිරෙන කාලයට පෙර ඒ කාලයට ගැළපෙන වයිරස ප්රභේදයට එරෙහිව එන්නත් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදුවන්නකි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබා ගැනීම වැදගත්ය.
ඩෙංගු යළි හිස ඔසවයි
2017 වසරේ ඩෙංගුවලින් හොඳටම බැටකෑ ලාංකිකයන්ට 2026 වසර ද වාර්තාගත වසරක් වෙමින් පවතියි. මේ වන විට රෝගයට ගොදුරු වූ සංඛ්යාව 105,097 ඉක්මවමින් සිටින අතර හැත්තෑ නව දෙනකු මිය ගොස් ඇත. ඔක්තෝබර් මාසයේ මුල් දින විසි පහේදී පමණක් රෝගීන් 4377ක් වාර්තා වී ඇති අතර වැස්ස මේ සංඛ්යාව දෙගුණ තෙගුණ කළ හැකි සාධකයකි. බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති සමස්ත රෝගීන් ගණන 54,673 ක් වන අතර එය රටේ මුළු ඩෙංගු රෝගීන් ගණනින් සියයට 52.02% ක් වෙයි.
ඩෙංගු ශ්රී ලංකාවේ ප්රධාන මහජන සෞඛ්ය ගැටලුවක් බවට ස්ථාපිතවී අවසන්ය. රෝගයේ බරපතළ බව හෝ සාමාන්ය බව පවතින්නේ මිනිසා විසින් පරිසරයට එක් කරන මදුරුවන් බෝවිය හැකි ස්ථාන අනුවය. වැසි බින්දු කිහිපයක් පවා මදුරුවන්ට නිජ බිම් තනයි. මේ නිසා වැස්ස අඩුවන සෑම අවස්ථාවකම ජලය පිරෙන තැන් බලා ඉවත් කිරීම ඉතා වැදගත්ය.
වැසි කාලයේදී වැලඳෙන රෝග රැසක ප්රධාන ලකුණ උණ වන බැවින් තමන්ට උණ වැලඳී ඇත්තේ ඩෙංගු නිසා ද වෙනත් හේතුවක් නිසාද කියා වෛද්ය උපදෙස් පරිදි පරීක්ෂණ මඟින් වෙන් කර හඳුනා ගැනීම අත්යාවශ්යය. මන්ද උණ, ඇඟපත වේදනාව අවම කිරීමට නුසුදුසු වේදනානාශක (NSAIDs) භාවිත කළහොත් ඩෙංගු රෝගීන්ට මාරාන්තික විය හැකි බැවිනි.
උණ වැලඳුණු වහාම බොහෝ දෙනා හිතුමනාපයට වේදනානාශක පෙති නොගෙන පැරසිටමෝල් ගැනීම නුවණට හුරුය. ඩෙංගු රෝගීන්ට ස්ටීරොයිඩ් නොවන ප්රතිප්රදාහ ඖෂධ( NSAIDS/(Non-Steroidal Anti-inflammatory Drugs) ඉබුප්රොෆෙන් (Ibuprofen), මෙෆෙනමික් ඇසිඩ් (Mefenamic Acid), ඩයික්ලොෆෙනැක් (Diclofenac) වැනි ඖෂධ මෙන්ම ස්ටීරොයිඩ් (Steroids) ඔසු වර්ග ඩෙංගු රෝගීන්ට සම්පූර්ණයෙන්ම හානිකරය. මෙවැනි ඖෂධ මඟින් ආමාශයික තුවාල ඇති වී අභ්යන්තර රුධිර වහනය සීඝ්රයෙන් වැඩිවේ. ඇස්පිරින් සහ ක්ලෝපිඩොග්රෙල් (Aspirin / Clopidogrel): හෘදයාබාධ හෝ වෙනත් රෝග සඳහා මේ රුධිරය තුනී කරන ඖෂධ ගන්නා රෝගීන්ට උණ වැලඳුණු විට, වෛද්ය උපදෙස් මත එම ඖෂධ තාවකාලිකව නැවැත්වීමට සිදු වේ. ඩෙංගු සඳහා ආරක්ෂිත එකම ඖෂධය පැරසිටමෝල් (Paracetamol) පමණි. අවශ්ය නම් වෛද්ය උපදෙස් මත Paracetamol + Codeine සංයෝග භාවිත කළ හැකිය.
උතුරා යන වැසිකිළි පාචනයට අත වනයි
වැසිකිළි වළවල් උතුරා යාමේ හේතුවෙන් මේ කාලයේ පාචනය වැනි තත්ත්ව ඇති වීමේ අවදානමක්ද පවතී. හැකි තරම් සෞඛ්ය ආරක්ෂිත ලෙස පිසූ නිවෙසේ පිසූ ආහාර ගත යුත්තේ එබැවිනි. මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) අවදානම ඇති පෙදෙස්වල අය වෛද්ය උපදෙස් මත ආරක්ෂිත පියවර ගත යුතුය.
රෝග වැලඳීමේ ඉඩ වාගේම මේ කාලයේ අනතුරු සිදු වීමේ ඉඩ ද වැඩි බව අමතක නොකළ යුතුය. පාරවල් අඳුරු හා ලිස්සනසුලු බැවින් හදිසි අනතුරු ඇති වීමේ ඉඩකඩ ද වැඩි වීම මීට හේතුවවෙයි.
(සෞඛ්ය අමාත්යංශයේ වසංගත රෝග විද්යායතනයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම සහ ළමා රෝග විශේෂඥ වෛද්ය මහේෂක විජයවර්ධන සමග කළ සාකච්ඡාවක් ඇසුරිණි.)

