කාන්තාවකට පහර දී අයිතිවාසිකම් උල්ලංඝනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වන්දි ගෙවීමට නියෝග
02 November 2026
කාන්තාවකට පහර දී අයිතිවාසිකම් උල්ලංඝනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වන්දි ගෙවීමට නියෝග
02 November 2026
කාන්තාවකට අමානුෂික ලෙස පහර දී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින්, දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා විසින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ වෙනුවෙන් වගඋත්තරකරු විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවක් තීන්දුවේ සඳහන් වේ.
තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්ති නම් කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, ජනක් ද සිල්වා සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දී ඇත.
නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවියගේ මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ, දුප්පත්කම හේතුවෙන් අතීතයේ තමා නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවල නිරත වූ බවත්, ඊට අදාළව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පොලිසිය විසින් නඩු කිහිපයක් ගොනු කර තිබූ අතර ඒවාට තමන් වරදකරු වී ඇති බවය.
කෙසේ වෙතත්, එවැනි නීති විරෝධී කටයුතුවලින් තමන්ට පළක් අත් නොවන බව වටහා ගැනීමෙන් පසුව තමන් එම කටයුතුවලින් ඉවත් වූ බවත්, ඉන් පසුව කිරි ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපාය සකස් කරගත් බවත් ඇය සඳහන් කර ඇත.
ඊට අමතරව ඇය විසින් කුකුළු පාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර, ඊට අදාළ ලියාපදිංචි සහතිකයද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට වරින් වර හිරිහැර සිදු කළ බවත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බවත් ඇය පවසයි.
කෙසේ වෙතත්, 2019 වසරේ ඔක්තෝබර් මස 7 වන දින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට චෝදනා කරමින් සිය සැමියා අත්අඩංගුවට ගත් බවත් ඇය පවසයි.
ඉන් පසුව සැමියා බැලීම සඳහා බත් පාර්සලයක්ද රැගෙන "චානක මල්ලි" නමැත්තෙකුගේ ත්‍රිරෝද රථයෙන් තමා දොම්පේ පොලිසියට ගිය අතර, එහිදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල් ලක්මාල් නමැත්තා තමන්ට පහර දී මානසික වශයෙන්ද හිරිහැරයට ලක් කළ බවත් ඇය සඳහන් කරයි.
ඒ තුළින් ඇති වූ බාහිර තුවාල පිළිබඳ ඡායාරූප සහ වෛද්‍ය ලේඛනද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහෙත් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ නඩුකරය වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරු කටයුතු නොකළ අතර, ඔහුට අදාළව නීතිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියා සිටින්නේ, මෙම පහරදීම සිදුවීමට පෙර සිට පොලිසිය විසින් ඇයට අඛණ්ඩව හිරිහැර කිරීම් සිදු කර තිබූ බවත්, ඊට අදාළ ලේඛන ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවත්ය.
ඊට අමතරව, ඇයගේ ඥාතියෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මඟින්ද එය තවදුරටත් තහවුරු වී තිබේ.
මේ තුළින් මෙම සිදුවීම ඇතිවීමට පෙරත් ඉන් පසුවත් පොලිසිය විසින් පෙත්සම්කාරිය කෙරෙහි අතිශය පීඩාකාරී සහ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ බව තහවුරු වන බවත් තීන්දුවේ සඳහන් වේ.
මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා විසින් පෙත්සම්කාරිය කෲර වධ හිංසාවලට ලක් කර තිබෙන ආකාරය පැහැදිලි වන බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෲර වධ හිංසනයෙන් මිදී සිටීමට තිබෙන මූලික අයිතිය වගඋත්තරකරු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීන්දු කර තිබේ.
ඒ අනුව වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

