brand logo
logo
ගී පද රචකයා කර්තෘ භාගය ගන්නෙ මෙහෙමයි

ගී පද රචකයා කර්තෘ භාගය ගන්නෙ මෙහෙමයි

10 October 2026 | බියංකා නානායක්කාර

එදවස සමහර රචකයන් ගීත ලියුවේ ගායකයාගේ ආරාධනාවටය. තවත් සමහරු ගීත ලියුවේ හිතේ හැඟීම්බර බවටය. සමහරු ලියූ කවි ගීත වූ අවස්ථා ද බොහෝය. කෙසේ හෝ තමන්ගේ පද වැල ගීතයක් වද්දී කාටත් වඩා සතුටු වූයේ රචකයාය. එදා ඒ ගීයෙන් දෙස් විදෙස් වේදිකාවේ ගායකයන් දහසින් බැඳි පියලි හම්බ කළද රචකයාගේ හිතේ කිසිදා ඉරිසියාවක්, තරහවක් ඇති වූයේ නැත. එදා නිර්මාණයට ආදරය කළ ගීත රචකයාගේ හිතත්, ගීතයට ඩිජිටල් අවකාශයේ මිලක් නියම වද්දී වෙනස් වුණේය. සමහරු ගීතවලින් ඩිජිටල් වේදිකාවෙන් මුදල් ඉපයූවත් ගීතයේ කර්තෘත්වය ඇති සමහර රචකයන් ප්‍රසිද්ධියේ මුහුණුපොත හරහා ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ට සතයකුදු නොලැබෙන බවය.ඇත්තටම රචකයාට ගීතයෙන් මුදලක් උපයන්න බැරිද? ජාත්‍යන්තර බුද්ධිමය දේපළ නීතියට අනුව ගීතයක රචකයන්ට ඔවුන්ගේ කර්තෘභාගය ඇත්තටම ලැබෙන්නේ නැද්ද?


අදින් දශක හය හතකට පෙර ලංකාවේ සරළ ගීත කලාවේ උත්පත්තිය සිදුවන්නේ ගුවන්විදුලිය හරහාය. සරල ගීතය බිහිවන්නට පෙර ලංකාවේ ජන ගී, නූර්ති ගී හා නාඩගම් ගී, ග්‍රැමෆෝන් ගී සහ චිත්‍රපට ගීත කලාවක් බිහිව තිබුණේය. නමුත් ඒ ග්‍රැමෆෝන් ගීත සහ චිත්‍රපට ගීත බොහෝමයක් එළිදැක තිබුණේ ඉන්දියානු අනුකරණයන් ලෙසිනි. මේ නිසා දේශීය අනන්‍යතාවක් සහිත ගීත කලාවක් ගොඩනැගීම සඳහා ගුවන්විදුලිය හරහා මේ සරල ගී එදා ආරම්භ වූයේය. එකල ගුවන්විදුලි ගායකයන් සරල ගී පරීක්ෂණයෙන් සමත් විය යුතුය. අනතුරුව ඔවුන්ට සරල ගී වැඩසටහන සඳහා ගුවන් කාලයක් ලැබුණේය. එහිදී ගයන්නට ඔවුනට ගීත වුවමනා විය. හැමෝටම ගීත ලියන්නට බැරිය. ඒ ගීත ඔවුන් සොයා ගත්තේ ගුවන්විදුලියේ සේවය කළ දැන හඳුනන අයගෙන්මය. එදවස ගුවන්විදුලියේ සේවය කළ කරුණාරත්න අබේසේකර, දයානන්ද ගුණවර්ධන, මඩවල එස්. රත්නායක, කේ.ඩී.කේ. ධර්මවර්ධන, සරත් විමලවීර, චිත්‍රානන්ද අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, දයා ද අල්විස්, කුසුම් පීරිස් වැනි දක්ෂයන් අතින් සරල ගීවලට ගායන ශිල්පීන් සඳහා ගී පද නිර්මාණය වූයේ නොමසුරුවය. ඒවා ඉතා අරුත්බර පහසුවෙන් තේරුම්ගත හැකි මියුරු ගී පද වෙද්දී ඒ රචකයන් එදා මේ ගීවලට මිලක් නියම කළේ නැත. ඔය අතරේ ගුවන්විදුලියෙන් පිට තමන් ළඟින් ඇසුරු කළ උගතුන්ගෙන් ගීත ලියා ගත් ගායක ගායිකාවන් ද සිටියහ. පණ්ඩිත් අමරදේවයන් එසේ ගීත ලියවාගෙන තිබුණේ ඩෝල්ටන් අල්විස්, අරිසෙන් අහුබුදු, චන්ද්‍රරත්න මානවසිංහ, රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් සරත් පෙරේරා වැනි අයගෙනි. ඒ වගේම ගුවන්විදුලි වැඩසටහන් සඳහා යන එන්නන් වූ කුලරත්න ආරියවංශ, අජන්තා රණසිංහ, කුමාරදාස සපුතන්ත්‍රි, මෛත්‍රි පනාගොඩ, මහින්ද අල්ගම, ගාමිණී විජේතුංග වැනි බොහෝ ශිල්පීන්ටත් එදා සරල ගීත ලිවීමේ අවස්ථාව උදා වුණේය. ඔවුන්ද ගායන ශිල්පීන්ගේ අවශ්‍යතාවට ගීපද ලියා දී නිර්මාණය රස වින්දා මිස ඒ පද සඳහා කිසිදා මුදලක් ඉල්ලා සිටියේ නැත. සමහර විට ඒ ගී පද වෙනුවෙන් ඔවුන්ට එදා ලැබුණේ හිතවන්ත වචන ටිකක්, හිනාවක්, කැන්ටිමෙන් තේ කෝප්පයක් හෝ මදුවිතක් පමණය. ඒ ගීත අදටත් නොනැසී පවතින්නේ ලියූ රචකයන් අසිරිමත් කලා රසයක් භාෂා ඥාණයක් මගින් ගීතය කලා මාධ්‍යයක් හැටියට නිර්මාණය කළ නිසාය.

1977 වනතුරු මේ ගීත ගුවන්විදුලියෙන් වාදනය වන විට නිවේදකයා සිහිපත් කළේ ගායකයාගේ නම විතරය. නමුත් 77 වසරෙන් පසුව මේ තුන් කට්ටුවටම සාධාරණයක් විය. ඒ සෑම ගීතයක්ම වාදනයට පෙර ගීතය ලියූ රචකයාගේ නම, සංගීතඥයාගේ නම සහ ගායකයාගේ නම ප්‍රකාශ කිරීමය. ඉන්පසුව ප්‍රසංග වැනි අවස්ථාවලදී ගායකයා ඒ ගීයෙන් මුදල් ඉපැයූවත් පද රචකයාට හෝ සංගීතඥයාට මුදල් උපයන්නට බැරි වුවද, ගුවනින් ඒ නිර්මාණ දායකත්වය ඇසෙන හැම වාරයකම මේ සිත්වලට සතුට කැන්දුවේය.

මෙය වෙනස් වූයේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවන්හි ආගමනයත් සමගය. මුල්ම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවෙන් ගීතයක රචකයා, සංගීතඥයා හෝ ගායකයාගේ නම කීම අත්හල වැරැද්ද ඉන්පසු හතු පිපෙන්නා සේ බිහි වූ සෑම පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක්ම සිදු කළේය.

‘


‘මේ චැනල්වලින් අපි ලියපු සිංදු අසන්නන්ට දෙනවා. නම් වට්ටෝරු කියාගෙන යනවා. ගෙදර බල්ලාගෙයි, පූසාගෙයි වැඩට ඉන්න කෙල්ලගෙයි නමත් නිවේදකයෝ කියනවා. හැබැයි ගීතය ලියපු මිනිහවත්, සංගීතය දුන්න කෙනාගෙවත්, ගායකයාගේ නමවත් කියැවෙන්නේ නැහැ. ඒක හරි අසාධාරණයක්.’’


පෞද්ගලික ගුවන්විදුලි නාළිකා දිගින් දිගටම කරගෙන ගිය ඒ අසාධාරණය ගැන වරක් අද ජීවතුන් අතර නැති ප්‍රවීණ ගීත රචකයකු තම අප්‍රසාදය පළකර තිබුණේ එසේය.

ඔය අතරතුර කාලයේ කැසට්පට ඒමත් සමග ගීතය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වුණේය. එහිදී ගීතයට දායක වන මේ ශිල්පීන්ට හිත සතුටු වන යම් සාධාරණයක් සිදු වුණේය. කැසට් කවරයේ ගීතයට ඉදිරියෙන් රචකයාගේ නමත්, සංගීතඥයාගේ නමත් සටහන් වූවා සේම මූලික පටිගත කිරීමේදී පුංචි මුදලක් ද ඒ නිර්මාණයට ලැබුණේය.

‘‘කැසට් එකකට සිංදු ලිව්වම මුලින් රුපියල් 100 ක් වගේ ලැබුණා. ටික කාලයක් යද්දී ඒක 250, 500 වගේ වෙලා අවසන් කාලයේ රු. 2500 ක් ලැබුණා. සමහර කැසට්වලට නම් සිංදු ලිව්වට එහෙමවත් මුදලක් ලැබුණේ නැහැ. හැබැයි ඒ කාලේ අපි සල්ලි හොයාගෙන ගියෙත් නැහැ.’’

කැසට් පට වෙනුවෙන් බොහෝ ගීත සංඛ්‍යාවක් ලියා ඇති ප්‍රවීණ ගී පද රචකයකු ඒ යුගය සිහි කළේ එලෙසය. කැසට්පට අලෙවියේ ස්වර්ණමය කාලයේ ගීත රචකයන්ටත්, සංගීතඥයන්ටත් බොහෝ වැඩ ලැබුණේය. 94 වසර වෙද්දී කැසට් පට වෙනුවට සී.ඩී. තැටි ආවේය. ටිකෙන් ටික කැසට් කර්මාන්තය කඩා වැටෙන්නට පටන් ගත්තේය. වසර 2000, 2006 වන විට සම්පූර්ණයෙන්ම කැසට්පට නිකුත් වීම ඇනහිටියේය.

අසන්නන්ගේ හදවතේ පමණක් රජ වී තිබූ ගීත වසර 2010 න් පසුව උඩුයටිකරු වූයේ ඩිජිටල්කරණයත් සමගය. ගීතයෙන් ඩිජිටල් වේදිකාවේ මුදල් උපයන්නට පුළුවන් බව දැන ගත් විට ගීතයේ අයිතිය පිළිබඳ කතාබහ කරළියට ආවේය. ගීතය පිළිබඳ බුද්ධිමය දේපොළ නීතිය සොයා එළියට ගන්නේ ද ඒ අනුවය.

ලංකාවේ කලාව සහ මාධ්‍ය වෙනුවෙන් ක්‍රියාත්මක නොවී තිබුණ ද ඒ වන විටත් බුද්ධිමය දේපොළ නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබුණි. 1979 වසරේ මේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ එවකට වෙළෙඳ හා නාවික අමාත්‍යවරයා ලෙස සිටි ලලිත් ඇතුලත්මුදලි විසිනි.

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහ කියන්නේ ඔය කාලයේ ගුවන්විදුලියෙන් ගීතයට දායක වූ තිදෙනාටම කර්තෘ බාගයක් ද ගෙවූ බවයි.

‘‘එවකට සංස්කෘතික අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා තමයි ඔය කාලයේ ශිල්පීන් තුන්දෙනාගේ නම් ගීතය වාදනයට පෙර සඳහන් කරන්න කීවේ. ඒ වගේම රචකයාට, සංගීතඥයාට සහ ගායකයාට රුපියල බැගින් ගීතයක් වාදනය වන හැම මොහොතකම කර්තෘ භාග ගෙවන්න කියලා නීතියකුත් ගෙනාවා. හැබැයි මේ නීතිය ඒ කාලේ ගැසට් කළේ නැහැ. කටවචනෙට ගෙනාපු නීතියක් විතරයි. ඒක ගැසට් කරලා තිබ්බ නම් අදටත් ගීතයක් වාදනය වෙද්දී තුන්දෙනාටම කර්තෘ භාග ලැබෙනවා.’’

ඒ නිසා ගීතයට ගුවනින් කර්තෘභාග ගෙවීම වසර දෙකක් පමණ සිදු වී නැවතී ගියේ, රජයන්, මැති ඇමැතිවරුන් වෙනස්වීම වැනි කාරණා නිසාය. එසේ නැවතී ගිය කර්තෘ භාගය නැවතත් 2015 වසරේදී එවකට ජනමාධ්‍ය ඇමැතිව සිටි ගයන්ත කරුණාතිලකගේ යෝජනාවකට අනුවය. එයද දීර්ඝ කාලීනව සිදු නොවී අතරමග නැවතුණේය.

ඒ කෙසේ වුවද ගීතය ඩිජිටල්කරණයට හසුවීමත් සමග ජාත්‍යන්තර බුද්ධිමය දේපොළ නීතියට අනුව ලංකාවේ ගීතයටත් බුද්ධිමය දේපොළ නීතිය ඉදිරියට ආවේය. ගීතයට සිටින්නේ රචකයා සහ සංගීතඥයා යන කර්තෘලා දෙදෙනෙක් බව තහවරු කළේ මේ නීතියට අනුවය. එහිදී ගායකයාට ගීතයේ ඇති අයිතිය වෙනස් නොවී දිගටම පැවතුණෙන් රචකයාට සහ සංගීතඥයාට නාමික කර්තෘත්වයක් පමණක් හිමි වෙද්දී ගායකයා දිගින් දිගටම ගීතයෙන් මුදල් උපයමින් සිටියේය.

2003 වසරේ බුද්ධිමය දේපොළ නීතියේ සංශෝධනයක් සිදුවුණේය. 2010 න් පසුව ජාත්‍යන්තර බුද්ධිමය දේපොළ ජනරාල් කාර්යාලය ලංකාවේ ජාතික බුද්ධිමය දේපොළ ජනරාල් කාර්යාලය හරහා වරින්වර ගීතයේ කර්තෘත්වය රචකයාට සහ සංගීතඥයාට ඇති බව කියමින් දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වන්නට ගත්තේය.

ලංකාවේ ගීතයට ඇනකොටා ගැනීමේ මුල්ම ගැටුම නිර්මාණය වන්නේ එතැනිනි. ගීත රචකයාවත්, සංගීතඥයාවත් ගීතයෙන් ඩිජිටල් අවකාශයෙන් මුදල් සෙවිය හැකි බව නොදැන සිටිය දී ගායක ගායිකාවන් සේම සමහර වෙළෙන්දන්ද ඒ වන විටත් ගීතය ඩිජිටල් අවකාශයට මුදාහැර අනීතිකව මුදල් උපයමින් සිටියෝය. මේ නීතියට අනුව ගීතයේ කර්තෘත්වය එළියට පැමිණීමත් සමග ඒ සියල්ලට තිතක් වැටුණේය.

නීති ආ පමණින් ලංකාවේ ක්‍රියාත්මක නොවන ක්‍රම වේදය ගීතයේ නීතියට ද පොදු වුණේය. හරිහැටි ක්‍රියාත්මක නොවන ගීතයේ බුද්ධිමය දේපොළ නීතියට අනුව කර්තෘලා වෙනුවෙන් කටයුතු කරන්නට ලංකාවේ සංවිධාන බිහි වන්නේ ඒ අනුවය.

ගීත හත්දහසකට ආසන්න සංඛ්‍යාවක කර්තෘත්වයක් ඇති සංගීතවේදී රෝහණ වීරසිංහ, කියන්නේ පෞද්ගලික සංගීත ප්‍රකාශන සමාගම් කීපයක්ද ඒ අතරේ කතුවරු වෙනුවෙන් පෙනී සිටින්නට බිහි වූ බවයි. එසේ බිහිවුණු.

‘‘කතුවරයෙක් විදිහට මමත් සී මියුසික් පබ්ලිෂින් එක්ක එකතු වුණා. මම විතරක් නොවේ ගීතවල ඕනෑම කතුවරයකුට එහෙම එකතු වෙන්න පුළුවන්. එහිදී කරන්නේ ගීපද නිර්මාපකයා, හෝ සංගීත නිර්මාපකයා ඔවුන් ගිවිසුමකට යටත්ව පවරාගෙන මේ ගීත ජාත්‍යන්තර වේදිකාවට මුදා හැරලා කර්තෘලා ලියාපදිංචි කරනවා. ඉන්පසුව ඔවුන්ගේ නමින් මේ නිර්මාණ ඩිජිටල් අවකාශයට මුදා හරිනවා. එතැන් සිට ඒවාට ලැබෙන මුදල් ඔවුන රැගෙන බෙදා හැරීම් කරනවා. මේ වන විටත් සීයක් විතර දෙනා සී මියුසික් එකේ ලියාපදිංචි වෙලා ඉන්නවා. එය තමයි ලංකාවේ ප්‍රධානම සංගීත ශිල්පීන් සම්බන්ධව සිටින ආයතනය. ගායන ශිල්පීන් ගත්තම පණ්ඩිත් අමරදේවයන්, නන්දා මාලිනීගේ පටන් අද සිටින ගායන ක්ෂේත්‍රයේ තනු නිර්මාපකයන් දක්වාත්, මහාචාර්ය සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහගේ සිට අද සිටින ගීත රචකයන්ද, මා ඇතුළු අද සිටින සංගීතඥයන් දක්වාත් එහි ලියාපදිංචි වී මේ වන විට ප්‍රතිලාභ ලබමින් සිටිනවා. මට ලැබෙන ප්‍රතිලාභයෙන් මා ළඟ ඇති ගීත ලියූ රචකයන්ගේ කොටස මම ඔවුන්ට ලබා දෙනවා.’’

සී මියුසික් පබ්ලිෂින් වෙතින් එසේ ගීත රචකයන් හා සංගීතඥයන් ප්‍රතිලාභ ලබන අතරේ ගීතයේ කතුවරු වෙනුවෙන් ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයද (ACPOSL) පෙනී සිටින්නේය. එහි සභාපතිවරයා ගීත රචක නිලාර් එම්. කාසිම්ය. ඔහු කියන්නේ ලෝක බුද්ධිමය දේපොළ සංවිධානය විසින් මෙහෙයවන ලද ඉන්දියාවේ සාමූහික සංගමයේ මාර්ගෝපදේශකත්වය යටතේ ක්‍රියාකාරී සැලැස්මකට අනුව කර්තෘ භාගය ඒකරාශි කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරමින් පවතින බවය.

‘‘බුද්ධිමය දේපළ කියන කාරණාව ගීතය, සිනමාව නාට්‍ය කලාව මේ හැම දේකටම අදාළ පොදු කාරණාවක්. ගීත පිළිබඳ සාධකයේදී අපේ රටේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත තිබෙනවා. මෙහිදී ගීතයක් වාණිජමය වශයෙන් භාවිත වන හැම අවස්ථාකදීම එහි ප්‍රධාන පාර්ශ්වකරුවන්ට ගෙවීමක් කරන්න ඕන. ගායන ශිල්පියකු ප්‍රසංගයකට සහභාගි වෙන්න මුදලක් අය කරනවා. ඔහු එම ප්‍රසංගයේදි ඉදිරිපත් කරන්නේ පද රචකයකුගේ සහ සංගීතවේදියකුගේ බුද්ධිමය දේපළ නිසා ඒ සඳහා කර්තෘභාගයක් ගෙවිය යුතුයි. ගායන ශිල්පියකු ප්‍රසංගයකට සහභාගි වෙන්න මුදලක් අය කරනවා. ඔහු එම ප්‍රසංගයේදි ඉදිරිපත් කරන්නේ පද රචකයකුගේ සහ සංගීත වේදියකුගේ, බුද්ධිමය දේපළ නිසා, ඒ සඳහා කතෘ භාගයක් ගෙවිය යුතුයි. මේක අපි හදපු නීතියක් නොවෙයි. ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක්. මේ සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය මග පෙන්වීමක් කරනවා. ලංකාවේ මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබෙන බුද්ධිමය දේපළ කාර්යාලයයි.

මේ වගේම ප්‍රකාශක හිමිකම ඇති ගායක ගායිකාවන් වෙනුවෙන් ඔස්කා කියන සංවිධානය පෙනී ඉන්නවා.

අපේ ආයතනය ව්‍යවස්ථාපිත සමාගමක් ලෙස බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි වෙලා තිබෙනවා. ඒ අනුව ඔවුන් අපිව විගනණය කරනවා. විටින් විට රැස්වීම් කැඳවනවා. අපි ඔවුන්ට වාර්තා ඉදිරිපත් කරන්න ඕන. මුදල් එකතු කරන ආකාරය සහ බෙදාහරින ආකාරය පැහැදිලි කිරීම් කරනවා. මේ සියලු දේ ඔවුන් විමසා බලනවා. ඒ වගේම මේ කරන කාර්යට මාර්ගෝපදේශකත්වය සපයන්නේ ලෝක බුද්ධිමය සංවිධානය. ඔවුන් මාසයකට වරක් ඔන්ලයින් මීටින් අරගෙන අපි කොහොමද මේ සංවිධානය පවත්වාගෙන යන්නේ කියලා විමසා බැලීමක් කරනවා. මේ සංගමය ලෝකය පිළිගත් සම්මුති ප්‍රකාරව කටයුතු කරනවා.

අපේ නිර්මාණ කොතැන හෝ තැනක ප්‍රචාරය වෙනවා නම් ඔවුන්ට හෝ ඔවුන් ජීවත්ව නැති නම් ඔවුන්ගේ පවුල්වල අයට කතෘභාගය යන්න ඕන. ඒක ඒ තරම් ලොකු මුදලක් නොවෙයි. අපි acposl එකෙන් එම මුදල් ඒකරාශි කරලා ඔවුන් අතර බෙදා හරිනවා. අප සමාගමේ තිබෙන දත්ත පද්ධතියට අනුකූලව සෑම කාර්තුවකම එම බෙදා හැරීම සිදු කරනවා.

ලෝකයේ තිබෙන යුටියුබ් වැනි ඩිජිටල් තාක්ෂණය සමග අපේ ගීත ප්‍රචාරය වෙනවා. මෙමගින් අපට හිමි විය යුතු නිසි ආදායම් ප්‍රතිශතය ලැබෙන්නේ නැහැ. ජාත්‍යන්තර මට්ටමින් අපි ලියාපදිංචි නොවීම ඊට හේතුවයි. CISAI කියන ආයතනය අපි ලියාපදිංචි ආයතනයේ ලියාපදිංචි වීම සඳාහා මේ වන විට කටයුතු කරමින් සිටින්නේ’’

මෙනයින් බලන කල ලංකාවේ ගීතයට සිටින කතුවරු දෙදෙනා රචකයා සහ සංගීතඥයා වන බවත්, අද ලංකාවේ ඇති මෙවන් සංවිධාන හරහා සංගීතඥයා තමන්ට හිමි ප්‍රතිලාභය ලබා ගන්නවා සේ අනෙකුත් සමහර රචකයෝද ඔවුන්ට හිමි ප්‍රතිලාභ ලබා ගනිති.

‘‘අනේ අපි එදත් සිංදු ලිව්වේ නිකන්. අදත් අපිට අපේ සිංදුවට සතයක්වත් ලැබෙන්නේ නැහැ’’ කියන මේ සමහර අයටත්, ක්‍රමානුකූලව මෙකී ප්‍රකාශන ආයතනයක ලියාපදිංචි වී තමන්ගේ නිර්මාණයට හිමි මුදල් මාසිකව ලබාගත හැකි වන්නේය. තවත් පමා නොවී ගීත රචකයකු වන ඔබ එසේ කළොත් එකම නිර්මාණයට ජීවය දෙන ඔබේම මිතුරන් සමග ඇනකොටා නොගෙන එකී නිර්මාණයට ලැබෙන ප්‍රතිචාරයට එදා සේම ඔබ තිදෙනාටම හදවතින්ම සතුටු විය හැකිවනු ඇත.

 

More News..