brand logo
logo
ආණ්ඩුව ඇත්තටම හොරු අල්ලනවාද?

ආණ්ඩුව ඇත්තටම හොරු අල්ලනවාද?

13 October 2026


සිය ආණ්ඩුව හොරු අල්ලමින් සිටින බව ජනාධිපතිවරයා මේ කාලයේ රට පුරා පවත්වන රැස්වීම්වලදී සාඩම්බරයෙන් කියා සිටී. මේ ආණ්ඩු කාලයේදී පමණක් නොව තම ඊළඟ ආණ්ඩු කාලයේදීද හොරු ඇල්ලීම දිගටම කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් කියයි. ඇත්තෙන්ම එය හොරුන් නොවන සියලු දෙනාට සතුටුවිය හැකි කතාවකි.


ජාතික ජන බලවේග පාක්ෂිකයන් හා එහි හිතවතුන් කොන්දේසි විරහිතව ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රධාන හේතුවක් වන්නේද එයයි. ඇත්ත. ආණ්ඩුවක් රටේ ජාතික ධනය සොරා කෑ හොරුන්ට නිසි දඬුවම් දීමට කටයුතු කරන්නේ නම් ඒ ආණ්ඩුවට රටට ආදරය කරන හැම කෙනකුගේම සහයෝගය ලැබිය යුතුය.


එහෙත් විපක්ෂය මේ පිළිබඳ කියන්නේ වෙනම කතාවකි. ඔවුන් කියා සිටින්නේ මේ ආණ්ඩුව රටේ දියුණුවට කිසිවක් කර නැති බැවින් ඒ වසා ගැනීමට සිය විරුද්ධවාදීන් අත්අඩංගුවට ගන්නා බවයි. එයද විමසා බැලිය යුතු කාරණයකි.


මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ගතවූ දෑවුරුද්ද තුළ රටේ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් අලුතින් ඇරඹුණේ නැති බව නම් ආණ්ඩුවේ හිතවතුන්ට වුවද පිළිනොගෙන බැරි කාරණයකි. මෙට්‍රෝ බස් ⁣ගෙන්වීම හා පිටකොටුවේ බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම වැනි ආණ්ඩුවක එදිනෙදා කටයුතුවලට පවා ඔවුන් දැවැන්ත ප්‍රසිද්ධියක් ලබාදෙන්නේ ඒ නිසාය. එසේ වුවද නිතර දෙවේලේ හිටපු මැති ඇමැතිවරුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කෙරෙන බැවින් ආණ්ඩුව ලොකු වැඩ කොටසක් ඉෂ්ට කරමින් සිටින බවට කීර්ති නාමයක් දිනාගැනීමට නම් සමර්ථ වී තිබේ.


ආණ්ඩුව විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම් කරන බව⁣ට කෙරෙන චෝදනාව නම් සෑම සියලු ආණ්ඩු කාලයකදීම විපක්ෂය විසින් කරනු ලබන්නකි. එහෙත් විරුද්ධවාදීන්ට නඩු පැවරීමේදී පොලිසිය හා අල්ලස් කොමිසම හැසිරෙන ස්වභාවය සම්බන්ධයෙන් ඔවුන් කරන ඇතැම් චෝදනා නම් නොසලකා හැරිය නොහැකිය. උසාවියට ඉදිරිපත් කෙරෙන විරුද්ධවාදීන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් ඇප ඉල්ලා සිටි විට විමර්ශන කටයුතු අවසන් නොමැති නිසා වගඋත්තරකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටීම මෙහිදී පෙන්වා දෙනු ලබන එක් කාරණයකි.


විමර්ශන අවසන් කරන්නේ නැතිව ඔවුන් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටින්නේ අපේ රටේ බන්ධනාගාරවල තත්ත්වය අනුව හුදෙක් රිමාන්ඩ් කිරීමම දඬුවමක් වන නිසාය. අවසානයේදී අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට නුපුළුවන් යැයි සිතිය හැකි වරදකට පවා විමර්ශන අවසාන වනතුරු රිමාන්ඩ් කිරීමෙන් සිදුවන්නේ අනියමින් සිරදඬුවමක් ලැබීමය. මෙය විරුද්ධවාදීන් විෂයයෙහි ක්‍රියාත්මක වන බවට ඔවුන් විසින් චෝදනා කරනු ලබන කාරණයකි.


ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ පිරිස් දඩයම් කරන බවට නැගෙන චෝදනාවට මේ ළඟදී ආණ්ඩුව පිළිතුරක් දුන්නේය. ඒ දූෂණ හා වංචා සම්බන්ධයෙන් විපක්ෂයේ උදවියට පැවරෙන නඩුවලින් එකක් දෙකක් හැරෙන්නට අනෙක් සියල්ල යහපාලන ආණ්ඩු කාලයේදී පැවරුණු නඩු වගයි. මෙහිදී ආණ්ඩුව කළේ ආණ්ඩුවේ එක කඩතොල්ලක් වසාගැනීමට ගොස් කඩතොලු දෙකක් තනාදීම බව නම් නොකියාම බැරිය.


ආණ්ඩුවේ නායකයකුම කියන හැටියට පසුගිය අවුරුදු දෙක තුළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ යහපාලන ආණ්ඩු කාලයේ පැවරුණු නඩුවලටය. එසේනම් ඒ ගෞරවය හිමිවිය යුත්තේ යහපාලන ආණ්ඩුව කරවූ එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය.


ජාජබ ආණ්ඩුව දැවැන්ත ප්‍රතිරූපයක් තනාගෙන සිටින්නේ අනුන්ට ලැබිය යුතු ගෞරවයක් මෙසේ ලබා ගැනීමෙන් බව කියන්නට කෙනෙක් නැත. හොරු ඇල්ලීමේ ගෞරවයද ඔවුන්ට හිමි නොවන්නේ නම් පසුගිය දෑවුරුද්ද තිස්සේ ආණ්ඩුව කර ඇත්තේ බොරු කීම පමණක් යැයිද කවුරුත් නොකියති.


එපමණක් නොවේ. මේ ආණ්ඩුව කාලයේ සිදුවූ දැවැන්ත හොරකම් ගණනාවක් සම්බන්ධයෙන් නිසි පියවර නොගත්තේ යැයිද ඔවුන්ට විරුද්ධව චෝදනා කෙරෙයි. කන්ටේනර් 323, ගල් අඟුරු හා ඩොලර් මිලියන 2.5 වංචා ඒ අතර මුලින්ම කියවෙයි.


එක පැත්තකින් හොරු අල්ලන්නේ යැයි විශාල ප්‍රසිද්ධියක් ආණ්ඩුව දිනාගෙන ඇත්තේ යහපාලන කාලයේ පවරන ලද නඩුවලට නම්බුව ලබා ගනිමිනි. තවත් පැත්තකින් තමන්ගේ ආණ්ඩු කාලයේදී සිදුවූ හොරකම් සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් කරන්නේද නැත.


එහෙත් ආණ්ඩුව කියන එකක් නම් ඇත්ත බව අප පිළිගත යුතුය. ඒ අපේ රටේ තිබෙන්නේ සුන්බුන් විපක්ෂයක් බවය. හරිහමන් විපක්ෂයක් තිබුණේ නම් මේ කතන්දර මේ විදිහට නොකියවෙනු ඇත.

 

More News..