සිවුරු පෙරවීම හෙවත් කඩල ඇටය බෑම
18 October 2026
සිවුරු පෙරවීම හෙවත් කඩල ඇටය බෑම
18 October 2026
සර් ජෝන් කොතලාවල සිතන්නේ බලන්නේ නැතිව කටට එන දෙයක් කියන සෙල්ලක්කාර අග්රාමාත්යවරයා හැටියට ඉතිහාසගතය. දුශ්ශීල භික්ෂුන්ගේ සිවුරු ගලවා තට්ටේ තාර ගෑ යුතු යැයි අග්රාමාත්ය සර් ජෝන් 1956 මහ මැතිවරණය ආසන්නයේ දිනක ප්රසිද්ධ ජන හමුවකදී කීවේය. ඒ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවල තිබූ බටහිර ගැතිකම ගැන ස්වදේශීන් තුළ ද, භික්ෂුන් තුළද තිබුණේ බලවත් අප්රසාදයකි. තට්ටේ තාර ගෑ යුතු යැයි කියූ කතාවට එරෙහිව නැගීගෙන ආ භික්ෂු විරෝධය දුටු අග්රාමාත්යවරයා භික්ෂුන් වහන්සේ අරලියගහ මන්දිරයට කැඳවා ඒ මිදුලේ අසුන් පනවා උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමට සූදානම් වූයේය. භික්ෂුන් වහන්සේට වාගේම සර් ජෝන්ටත් විශේෂ ආසනයක් පනවා තිබෙනු දුටු සර් ජෝන් තමාට පැනවූ ආසනයට ඈතට විසි වෙන්න පයින් ගැසුවේය.
‘‘කවුද යකෝ හාමුදුරුවෝ එක්ක එකට ඉඳගන්න මට ආසන පනවපු එකා.’’
එසේ කියූ සර් ජෝන් හිටගෙනම භික්ෂුන් වහන්සේ සමග සාකච්ඡාව කළේ තමන් කෙතරම් භික්ෂුන්ට ගරු කරන අග්රාමාත්යවරයෙක් දැයි පෙන්වීමටය. එහෙත් එයින් ඵලක් නොවූ බව පෙනෙන්නේ කතෝලික ආගම හැරදා බුද්ධාගමට අවුත් සිංහල භාෂාව රාජ්ය භාෂාව කරනවා යැයි කියූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට උපතින් බෞද්ධ වූ, පෝයට කඳවල පන්සලට ගොස් සිල් ගන්නා සර් ජෝන් අගමැති 1956 මහ මැතිවරණයේදී අන්තයට පරාද වීමෙනි.
ඉතිහාසය රවුමේ ගිහින් අතීතයේ වූ දේ නැවත නැවත අප හමුවට එයි. උසාවියට අපහාස කිරීමේ වරදට සය වසරකට දඟගෙට නියම වූ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර ගලවා සුදු වතකින් අධිකරණයට ගෙන ඒම ගැන සංඝයාගෙන් මතු වූ විරෝධය සමනයට ජනාධිපති උන්වහන්සේ අරලියගහ මැදුරට කැඳවා තමන් නීතිය ඉක්මවන්නේ නැති බව ධාර්මිකව පවසා බන්ධනාගාර පනත් වහාම වෙනස්කර ඥානසාර හිමිගේ ඇඳුමට සාධාරණය කරන බවට පොරොන්දු වූයේය. එහෙත් එයින් 56 සර් ජෝන් පුටුවට පයින් ගසාගත් ගැම්මවත් ලැබුණේ නැත. සාකච්ඡාවට වැඩමවූ භික්ෂුන් යළි පන්සලට යන්නටත් කලින් ඥානසාර හාමුදුරුවන් අයත් කෝට්ටේ සංඝ සභාව තමන් මගහැර ජනාධිපති මන්දිරයේදී කළ සාකච්ඡාව ගැන විරෝධය පළ කළේය. නුවර සිට කොළඹට භික්ෂු පා ගමනක් වහ වහා ආරම්භ කෙරුණු අතර රට පුරා නගරවල භික්ෂු පා ගමන් සංවිධානය කෙරිණ. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට යළි සිවුර අඳින්නත්, නිදහස දෙන්නත් කියා බලකරන ලක්ෂ පහක අත්සන් එකතු කිරීම ආරම්භ කෙරුණේය.
මේ කාරණය ගැන නිර්දේශ දෙසතියකින් දීමට ජනාධිපති පත් කළ කමිටුව දෙසතියකට කලින්ම වාර්තාව හදා භාරදෙන බවට නිවේදනය කළේය. එහෙත් භික්ෂු විරෝධතාව නතර නොවී රටේ හැම පැත්තෙන්ම මහ වැසි මැද මතු වුණේය. පාද යාත්රාව කොළඹට එන්නට කලින් දවසේ අධිකරණ ඇමැතිතුමා පුවත්පත් සාකච්ඡාවක් කැඳවා දඟගෙයි ඉන්නා භික්ෂුන්ට සිවුරු අඳින්න අවසර දෙන බවත්, එය ඉවත් කරන්නේ නිකායෙන් කීවොතින් පමණකැයි ප්රකාශ කළ ද භික්ෂු පා ගමනට අඩයක් තියන්නවත් එය සෑහුණේ නැත. එය වැසි, සුළං, උසාවි නියෝග, දිවාරෑ නැතිව කොළඹ කඳවුරු බැඳ ගත්තේය. දොස්තරවරු, දුම්රිය වෘත්තීය සමිති, බස් සංගම් ආදිය කරන වෘත්තීය සටන් ඉල්ලීම් ලද වහාම වාෂ්ප වෙයි. ඒවා වැල්ලේ අඳින අකුරු වාගේය. එහෙත් භික්ෂු සටන් කළේ ගලේ කෙටූ අකුරු වාගේ බව ඉතිහාසය පෙන්වා දෙයි.
උඩරට පාරවල්වත් නොදැන ගොස් සිංහලේ අන්තිම රාජ්ය යටත් කරගත් සුද්දන්ද සිවුරේ බලය දැනගෙන සිටියේය. කන්ද උඩරට යටත් කරගත් ගිවිසුමට බුද්ධාගමද, දේවාගම්ද පෙරහරද, ආරක්ෂා කර නොකඩවා පවත්වාගෙන යන බවට රොබට් බ්රවුන්රිග් පොරොන්දු වූයේ භික්ෂුන්ට තිබෙන බලය තමන් දන්නා නිසා බව යටත් විජිත භාර ලේකම්ට කියා යැව්වේය. භික්ෂූන් අමනාප කරගත් විට වෙන දේ සුද්දාත් දැන සිටියේය. 1818 කැප්පෙටිපොළ මහ කැරැල්ල ගහන්නට කලින් මඩුගල්ලේ නිලමේ ඊට කලින් අවුරුද්දේ ගැසූ 1817 කැරැල්ලෙන් පසු මේ රටේ ‘‘භික්ෂුන් මහම කුමන්ත්රණකරුවන්’’ යැයි බ්රවුන්රිග් ලියා යැව්වේය. සුද්දන්ගේ ආණ්ඩුව සේම නිදහසින් පසු පත් කළ ආණ්ඩුද අඩුවැඩි වශයෙන් සිවුරට ගෞරවය දැක්විය යුතුය, එහෙත් ‘‘ප්රවේසමෙන්’’ ආකල්පයෙන් ක්රියා කළ බව පෙනේ.
අපට නිදහස දුන් සෝල්බරි ව්යවස්ථාවේ බුද්ධාගමට ප්රමුඛත්වය දී එය රක්ෂා කරනවාය යන වගන්තිය තිබුණේ නැත. පිරිවෙනක් ඇරඹීමට රජයේ මුදල් ඉල්ලූ විට බුද්ධං සරණං ගච්ඡාමි වෙනුවට ආණ්ඩු සරණං ගච්ඡාමි කියා වචනයක් බණ පොතේ නැතැයි ඩී.එස්. කියූ දා ඉඳන් භික්ෂුන් එදා ආණ්ඩු දෙස බැලුවේ වපරැහෙනි. 1953 බුද්ධ ශාසන කොමිෂන් සභාව පිහිටුවා ඉංග්රීසි ආණ්ඩු කාලයේ සිට භික්ෂුන්ටත්, බුද්ධාගමටත් සිදු වූ හානි ගැන විමර්ශනය කොට 1956 ඉදිරිපත් කළ බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව පිළිගන්නා තැනැත්තා රාජ්ය නායකයා විය යුතුය යන තැනට පාර කැපුවේ සිවුරය. එය පිළිගෙන 1956 දී පිහිටු වූ බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ සිට ඉන්පසු පිහිටු වූ ආණ්ඩු හැම එකකටම සිවුරද වැදගත් විය. ‘‘ආගම පීඩිතයාගේ සුසුමය. හදවතක් නැති ලෝකයක හදවතය. එය පොදු ජනතාවගේ අබිංය.’’ 1844 දී කාල් මාක්ස් කියූ මේ කියුම ලංකාවේ පොදු ජනතාව අතර වැපිරූ වමේ ව්යාපාරයටද සිවුර ඉගැන්නුවේය.
වමේ ව්යාපාරයේ යෝධයකු වූ කොල්වින් ආර්. ද සිල්වා ලවාම 1972 ජනරජ ව්යවස්ථාවට බුද්ධාගම රාජ්ය ආගම ලෙස රක්ෂා කරන බවට වගන්තියක් දාන තැනට සිවුරු ගැටය තද කිරීමෙනි.
‘‘සිවුර වසර 2500 ක් මේ රටේ තිබුණ ඇඳුමක්. ඒක තරම් එකම නීතියකට අනුව පොරවපු ඇඳුමක් තවත් ලෝකේ නෑ. 1978 ගෙනාව ආණ්ඩුක්රම ව්යවස්ථාව අවුරුදු පනහක් යන්නත් කලින් දැන් විසි දෙවතාවක් වෙනස් කරලා තියෙනවා. භික්ෂු ප්රාතිමෝක්ෂ ශීලය වසර දහස් ගණනක් අඛණ්ඩව වෙනසක් නොකර පවත්වගෙන ඇවිත් ඒ නීතියට අනුවයි මේ සිවුරු අපි පොරවලා තියෙන්නේ. ආණ්ඩුක්රම, නීති බිහිවෙන්නත් කලින් භික්ෂු ප්රාතිමෝක්ෂ නීතිය යටතේ අපි දෙදහස් වසරක් පොරවපු සිවුරක් මේ.’’ සිවුරේ බලය ගැන කෝට්ටේ සංඝ සභාව කියන්නේ එහෙමය.
‘‘බෝගහට වඳින එක කිසිම තේරුමක් නෑ. බුදුහාමුදුරුවෝ කොස් ගහකට පිටදීලා බුදු වුණා නම් අපි කොස් කාලත් ඉවරයි.’’ මේ බලයට එන්න කලින්ම ඇමැතිවරයකු වරෙක කියූ කතාවකි. ජනාධිපති දිවුරුම් දුන්නේ ආගමික චාරිත්ර සහ ජයමංගල ගාථා නැතිවය. ‘‘බෞද්ධයා අනුරාධපුරේ සිද්ධස්ථාන පහුකරගෙන නාගදීපය වඳින්න එන්නේ ජාතිවාදී හැඟීම නිසා’’ වරෙක යාපනේදී කීවේය.
ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ චීවරය ගැලව්වේ මෙබඳු දෑ කියූ කළ ආණ්ඩුවකි. ආගමික සහජීවනය වෙනුවෙන් කළ යුතු හොඳම දේ බෞද්ධයාගේ සිත් රිදවා, අන්ය ආගමිකයන් සැනසීම නම් එය මල් හතට කරන්නේ මේ ආණ්ඩුවය. ඒ නිසා පනත් සම්මත කර ඥානසාර හාමුදුරුවන්ට චීවරය පොරවා උසාවි ගෙනාවට සාසනය සතුටු කරන්න බැරිය. කාන්තාරයේදී ඔටුවාගේ කොන්ද බිඳී ගියේ අන්තිමටම පැටවූ කඩල ඇටයෙන් යැයි සිතාගෙන කඩල ඇටය බෑවා වාගේ වැඩකි. ආණ්ඩුව මේ කරන දේත් අතීතයේ කළ දේත් භික්ෂුන්ට ගලේ කෙටූ අකුරු වී හමාරය.

