Best News Website award
brand logo
logo
මාළු වැඩි ප්‍රදේශ හඳුනාගන්න ධීවරයන්ට ජංගම දුරකතන ඇප්

මාළු වැඩි ප්‍රදේශ හඳුනාගන්න ධීවරයන්ට ජංගම දුරකතන ඇප්

19 November 2026 | නිර්මාණි තිලකසිරි


ධීවර කටයුතුවල නිරත ධීවරයන් හට මත්ස්‍ය ගහනය වැඩි ප්‍රදේශ පිළිබඳව දැනුවත් වීමට මේ වන විට පවතින සයුරු ජංගම දුරකතන ඇප් එක හරහා බහුදින ධීවර යාත්‍රා සඳහා පමණක් පුරෝකථන ලබාදීම සිදුවූ බැවින් යාත්‍රා හතළිස් පන්දහසක් පමණ ධීවර කටයුතුවල නිරතවන එක්දින ධීවර යාත්‍රා සඳහා එමගින් සේවාව ලබාගැනීමට නොහැකිවූ බැවින් ඔවුන් වෙනුවෙන් ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කරමින් පවතින බව නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සුධීර ගුණසේකර පැවසීය.


ඒ සඳහා මේ වන විට උපදේශකයකු හඳුනාගෙන ඔහු හරහා අදාළ දුරකථන යෙදවුම වෙනුවෙන් පිළිවිතර සකස් කර මුදුකාංගය නිර්මාණය කිරීමට ලංසු කැඳවීම සිදුකර ඇති බව ඒ මහතා පැවසීය.


එය හඳුන්වාදීමට තවත් මාස කිහිපයක් ගතවන බැවින් එම කාලයෙන් පසු දැනට පවතින සයුරු යෙදවුමේ අඩුපාඩු සම්පූර්ණයෙන් ඉවත්කර නව පහසුකම් සහිත සේවාවක් ධීවර ජනතාවට ලබාදිය හැකි බව පෙන්වා දුන් ඒ මහතා පවසා සිටියේ මේ හරහා ඉදිරියේදී කෙටි පණිවුඩයක් හරහා මත්ස්‍ය ගහනය වැඩි ප්‍රදේශ සම්බන්ධයෙන් ධීවර ජනතාවට දැනුවත් වීමේ අවස්ථාව පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය.


හෙතෙම මෙසේද පැවසීය.

චන්ද්‍රිකා තාක්ෂණය මගින් සාගර ජලයේ මතුපිට උෂ්ණත්වය, හරිතප්‍රද සාන්ද්‍රණය, සාගර දියවැල් සහ රළවල උස වැනි දත්ත විශ්ලේෂණය කරමින් මත්ස්‍ය ගහනය වැඩි විය හැකි ප්‍රදේශ අනුමාන කළ හැකියි. ඒ හඳුනා ගන්නා දත්ත සිතියම් ආකාරයට නිර්මාණය කරලා ධීවරයන්ට ලබාදීම වෙනුවෙන් තමයි මේ ජංගම දුරකථන යෙදුම භාවිත කරන්නේ. මේක 2008දී පටන් ගත්ත එක ක්‍රමානුකූලව දියුණු වෙවී යද්දි භාවිත කරන ක්‍රමවේද වෙනස් වුණා. මුලදී ෆැක්ස් මගින්, පසුව දුරකථන අමතුම්, ඊමේල්, වට්සැප් කියන තාක්ෂණය මේ සඳහා භාවිතකර අවසානයේදී තමයි මේ මොබයිල් ඇප් එකකට ආවේ. දැනට මේ තොරතුරු ලබාදීම කරන්නේ සයුරු කියන ජංගම දුරකථන යෙදවුම හරහා. 2025 වසරේ මැයි මාසයේ ගිවිසුම් ගතවෙලා ඩයලොග් ආයතනය විසින් කාලගුණ දෙපාර්තුමෙන්තුවෙන් ලබාගන්නා තොරතුරු ලබාදීම කරා.ඊට අමතරව ධීවර දෙපාර්තමේන්තුවේ සේවා ලබාදීම සිදුකළා මේ ඇප් එකෙන්. තවදුරටත් ධීවර ජනතාව අතරට ගෙනයන්න අප විසින් ලබාදෙන පුරෝකථන තොරතුරුත් එකතු කරන්න එකඟ වුණා. මේ වනතුරු නාරා ආයතනයට තමන්ගෙම ජංගම දුරකථන යෙදවුමක් නෑ. ඒ නිසා අදාළ ගිවිසුම අනුව සයුර ඇප් එක හරහා තොරතුරු ලබාදෙන්න කටයුතු කළා. 2026 අයවැය යෝජනා මගින් චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරලා මත්ස්‍යයන් හඳුනා ගෙන එම තොරතුරු ධීවර ප්‍රජාවට ලබාදීමට කාර්යක්ෂම සන්නිවේදන පද්ධතියක් නිර්මාණය කරන්න රුපියල් මිලියන සියයක මුදලක් වෙන්කළා. ඒකෙන් බලාපොරොත්තු වුණේ දැනට ලබාදෙන සේවාව වැඩිදියුණු කරන්න. ඒ වෙනුවෙන් දැනට කටයුතු කරනවා.

 

More News..