brand logo
logo
පෞද්ගලික රෝහල් රැසක කල් ඉකුත් වූ උපකරණ

පෞද්ගලික රෝහල් රැසක කල් ඉකුත් වූ උපකරණ

17 July 2026 | •අනීෂා මානගේ

භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ කල් ඉකුත් වූ වෛද්‍ය මෙවලම් කට්ටල සහ රසායනික ද්‍රව්‍ය රැසක් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහපෞද්ගලික රෝහල් රැසක කල් ඉකුත් වූ උපකරණ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවන් 52කදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබේ.


පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර මෙහිදී පරීක්ෂා කර තිබිණි. මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර ද එහිදී පරීක්ෂාවට ලක් කෙරිණි. රෝගීන්ගේ පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් අනාවරණය කර ගැනීමට එහිදී හැකිව තිබේ. ඒ අනුව කොළඹ, මීගමුව, අම්බලන්ගොඩ, රන්න, අම්බලන්තොට, අකුරැස්ස, ලග්ගල, පොල්ගහවෙල, ඉබ්බාගමුව, මඩකලපුව, පේරාදෙණිය, යාපනය, මුලතිව්, කිලිනොච්චි, රත්නපුර සහ පොළොන්නරුව ආදී නගර රැසක පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර රැසක තිබී භාවිතයට නුසුදුසු ද්‍රව්‍ය හඳුනාගෙන තිබේ.


වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන ඇතැම් රසායනාගාර ද්‍රව්‍ය සහ උපකරණ කල් ඉකුත් වී තිබී ඇති අතර ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු පැන නැගී ඇත. රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීමට භාවිත කරන මෙවලම් කට්ටල, රසායනාගාර රසායනික ද්‍රව්‍ය, ඩෙංගු රෝගය විනිශ්චය සඳහා භාවිත කරන පරීක්ෂණ කට්ටල, හෘද රෝගීන්ට භාවිත කරන ජෙල් වර්ග, වෛද්‍ය පරීක්ෂණවලට යොදා ගන්නා වර්ණක ද්‍රාවණ ඇතුළු රසායනාගාර ද්‍රව්‍ය රැසක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවැති බව මෙම පරීක්ෂාවන්හිදී අනාවරණය වී තිබිණි.


කල් ඉකුත්වී මාස දහයකට පසුවත් රුධිර පරීක්ෂාවලදී භාවිත කරන ලද සරල නළ කට්ටල කිහිපයක් එක් පෞද්ගලික රසායනාගාරයක තිබී හමුව ඇත. පිළිකා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා යොදාගන්නා කල් ඉකුත් වූ සායනික කට්ටල කිහිපයක් ද මෙම පරීක්ෂාවේදී හමුව තිබේ. තවද භාවිතයට නුසුදුසු තත්ත්වයේ පැවැති මුත්‍රා සාම්පල පරීක්ෂාවට ගන්නා තීරු පරීක්ෂණ කට්ටල සහ ග්ලූකෝස් ද්‍රාවණ ආදිය ද මෙහිදී හමුව තිබිණි.


අදාළ පෞද්ගලික ආයතනවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.


 

More News..