brand logo
logo
නීති විරෝධී දුම්කොළ කිලෝ 2400ක් සමග 11දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී දුම්කොළ කිලෝ 2400ක් සමග 11දෙනෙකු අත්අඩංගුවට

22 October 2026 | ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ


පුත්තලම - උඩප්පුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස රැගෙන එන ලද දුම්කොළ තොගයක් හුවමාරු කර ගනිමින් සිටි ඉන්දීය ජාතිකයන් 7 දෙනෙකු සහ ශ්‍රී ලාංකික ධීවරයන් 4 දෙනෙකු සමඟ යාත්‍රා 4ක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (21) රාත්‍රී කාලයේදී මෙම විශේෂ ආවේක්ෂණ සහ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.


එහිදී, ඉන්දියාවේ සිට පැමිණි ඩව් වර්ගයේ යාත්‍රා 2ක් මඟින් නීතිවිරෝධී ආකාරයෙන් මෙරට මුහුදු සීමාවට රැගෙන ආ මෙම දුම්කොළ තොගය, ඩිංගි යාත්‍රා 2කින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙත මාරු කරමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් විසින් සැකකරුවන් කොටු කර ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී උර 60ක අසුරන ලද, කිලෝ ග්‍රෑම් 2,400ක (ටොන් 2.4කට ආසන්න) දැවැන්ත දුම්කොළ තොගයක් සොයාගෙන තිබේ.


මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් ඉන්දීය ජාතික ධීවරයන් 7 දෙනා, දේශීය සැකකරුවන් 4දෙනා සහ අදාළ යාත්‍රා 4 (ඩව් යාත්‍රා 2 සහ ඩිංගි යාත්‍රා 2) සමඟ නීතිවිරෝධී දුම්කොළ තොගය වැඩිදුර නීතිමය කටයුතු සහ විමර්ශන සඳහා කොළඹ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.


මෙරට සමුද්‍රීය සීමාවන් ආරක්ෂා කරමින් නීතිවිරෝධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.



 

More News..