කුෂ් සහ හෂීෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
07 November 2026
කුෂ් සහ හෂීෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
07 November 2026
රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් 'කුෂ්' සහ 'හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු අද (07) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී, ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මූලික විමර්ශනවලට අනුව සැකකාර ඉන්දීය ජාතිකයා අද අලුයම 12 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක වෙත ළඟා වී ඇත.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී, සියඹලා ටොෆී අඩංගු බවට සඳහන් කළ ටින් 4ක් තුළ ඉතා සුක්ෂම ලෙස සඟවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 102ක් සොයාගෙන තිබේ.
ඊට අමතරව තවත් ටොෆි පාර්සල් 6ක් තුළ ටොෆි ස්වරූපයෙන් සකස් කර තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 260ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය අද දිනයේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටයුතු කරමින් සිටී.

