brand logo
logo
පූජිත් ජයසුන්දරට  හා හේමසිරි ප්‍රනාන්දුට  එරෙහි නඩු දෙකක තීන්දුව අද

පූජිත් ජයසුන්දරට හා හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩු දෙකක තීන්දුව අද

31 July 2026

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව වෙන් වෙන් වශයෙන් ගොනු කර තිබෙන නඩු දෙකක තීන්දුව අද(31) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 


පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔවුන්ට මෙලෙස නඩු පවරා තිබේ.


පසුගිය ජුනි 12 වැනිදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව තිබූ නඩුවේත් ජුනි 13 වැනිදා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව තිබූ නඩුවෙත් විභාග කටයුතු අවසන් කරමින් අද දින නියෝග ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මඬුල්ල දින නියම කළේ ය.


නඩුව විභාගයට ගැනුනේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් විරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.


මෙම නඩුව විභාගයට ගත් එවකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විනිසුරු මඬුල්ල නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්ති වාචික නොකැඳවා 2022 පෙබරවාරි 18 වෙනිදා විත්තිකරුවන් නඩුවෙන් නිදහස් කරමින් තීන්දුවක් ලබා දුන්හ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


එහි නියෝගය ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පැවසූවේ, නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවීය යුතුව තිබූ බවත් විත්ති වාචික කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීම නීතියට පටහැනි බවයි.

ඒ අනුව මෙම නඩු නැවත විභාගයට ගැනීම ආරම්භ කළේ ය.


 

More News..