brand logo
logo
ලාල්කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ - වත්කම් ප්‍රකාශයෙන් හෙළිවෙයි

ලාල්කාන්තට රු.කෝටි 6.7ක නිෂ්චල දේපොළ - වත්කම් ප්‍රකාශයෙන් හෙළිවෙයි

16 April 2026

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් ප්‍රකාශය මගින් දන්වා තිබේ.


අමාත්‍යවරයාගේ වත්කම් සම්බන්ධව පසුගිය දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වූ අතර ඔහු සිය වත්කම් ප්‍රකාශය භාරදී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් සතියේදීය.


2023 අංක 09 දරන දූෂණ විරෝධි පනත ප්‍රකාරව සියලු දේශපාලනඥයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කළ යුතු වෙයි.

ඒ අනුව 2025 වර්ෂයට අදාළව දේශපාලනඥයින් රැසක් මේ වනවිටත් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත්කර අවසන් ය.

මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළ ප්‍රකාශය සිදුකරන තැනැත්තාගේ වත්කම් හා බැරකම්, එම පුද්ගලයාගේ කලත්‍රයාගේ වත්කම් හා බැරකම්, යැපෙන දරුවන්ගේ වත්කම් බැරකම් මෙන්ම එම පුද්ගලයාගෙන් යැපෙන වෙනත් අය වේ නම් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ද ඇතුළත් කිරීම අනිවාර්යයි.


මේ යටතේ 2024 හා 2025 වර්ෂ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා භාරදී ඇති ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වුණි.


ලාල්කාන්ත මහතා සිය වත්කම් ප්‍රකාශය 2025 දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති අතර, එය සහතික කර ඇත්තේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාය.


මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කේ.ඩී. ලාල් කාන්ත මහතා තමා සතුව ඇති නිශ්චල දේපළ ලෙස දක්වා ඇත්තේ,

තෑගි ඔප්පු මගින් අත්පත් කරගත් රුපියල් මිලියන හයක පමණ වටිනාකමකින් යුත් වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක්, පර්චස් 10ක ඉඩමක්.

රුපියල් මිලියන දෙකයි දශම පහක් වටිනා වර්ග අඩි 750ක ස්ථිර ගොඩනැගිල්ලක්, පර්චස් 20ක ගෙවත්තක්.


රුපියල් මිලියන පනස් හයක පමණ වටිනාකමකින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් හා පර්චස් 14ක ඉඩමක් හා පසු උරුමය යටතේ අත්පත්කර ගත් රුපියල් මිලියන දෙකයි දශම පහක වටිනාකමකින් යුත් වර්ග අඩි 1500ක නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලකි.


මීට අමතරව රුපියල් මිලියන එකයි දශම 6ක වටිනාකමකින් යුත් පවුම් 08ක රන් ආභරණ, රුපියල් මිලියන තුනක වටිනාකමකින් යුත් රන් පවුමක්, රුපියල් මිලියන 4.5ක වටිනාකමකින් යුත් මෝටර් රථයක් චංචල දේපළ ලෙස දක්වා තිබේ.


වාර්ෂික වැටුප් ලෙස රුපියල් 738,918.16 ක්, දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම ලෙස රුපියල් 400,000ක් , ස්ථාවර තැන්පතු වාර්ෂික ආදායම ලෙස රුපියල් 2,755,851.97ක්, වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් 1,800,000 ක මුදලක් අමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් ය.


අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා ඉදිරිපත් කර ඇති ඔහු සතු නිෂ්චල දේපොළවල පමණක් මුළු වටිනාකම රුපියල් කෝටි 6.7 ඉක්මවයි.



 

More News..