ඉදිරි වසර 3 තුළ වෛද්‍යවරුන් 7,000ක් සේවයට - නලින්ද ජයතිස්ස
15 November 2026
ඉදිරි වසර 3 තුළ වෛද්‍යවරුන් 7,000ක් සේවයට - නලින්ද ජයතිස්ස
15 November 2026
ඉදිරි වසර 3 ඇතුළත ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 7,000ක් සෞඛ්‍ය සේවයට අලුතින් එක්කර ගැනීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රෝහල්වල පවතින පුරප්පාඩු, විශ්‍රාම යෑම් සහ මියගිය නිලධාරීන් පිළිබඳ තොරතුරු සොයාබලා මෙම බඳවා ගැනීම් ක්‍රියාත්මක කරන බව අද (15) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය සේවාව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් 2017 වසරෙන් පසුව මෙතෙක් කාඩර් ව්‍යුහ සංශෝධනයක් සිදුවී නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
බොහෝ රෝහල්වල නව ඒකක ස්ථාපිත කරමින් රෝහල් පද්ධතිය පුළුල් වී තිබුණද, නිවැරදි කාඩර් ක්‍රමවේදයක් නොමැති වීම නිසා නව බඳවා ගැනීම් සිදුකිරීමට බාධා පැවැති බව හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම ගැටලුවට විසඳුම් ලෙස පසුගිය මාස කිහිපය තුළ විද්‍යාත්මක කාඩර් විශ්ලේෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අදාළ සියලු තොරතුරු මීට මාස දෙකකට පෙර මුදල් අමාත්‍යාංශයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.
ඒ අනුව ලබන දෙසැම්බර් මාසය වන විට 2027, 2028 සහ 2029 යන ඉදිරි වසර 3 සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයට අවශ්‍ය කාර්ය මණ්ඩල අනුමැතිය සම්පූර්ණ කර ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
ලංකාවේ දිස්ත්‍රික්ක 25 අතුරින් දිස්ත්‍රික්ක 11ක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනයවන වෛද්‍ය පීඨ ඇත. එහි සිසුන් 12,000කට ආසන්න සංඛ්‍යාවක් දැනට වෛද්‍ය උපාධිය හදාරමින් සිටිති.
කෙසේ නමුත් මෙරට සේවයේ නිරත සමස්ත වෛද්‍ය, විශේෂඥ වෛද්‍ය සහ පරිපාලන වෛද්‍ය සංඛ්‍යාව 25,000ක් පමණ වන පසුබිමක, තවත් 12,000ක් අධ්‍යාපනය ලබමින් සිටීම ප්‍රතිශතාත්මකව සැලකිය යුතු මට්ටමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සීමාවාසික පුහුණුව අවසන් කරන වෛද්‍ය උපාධිධාරීන්ගෙන් වැඩි පිරිසක් රජයේ සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට සැලසුම් කර ඇත.
ඉතිරි පිරිස පෞද්ගලික අංශයේ සේවයට හෝ විදේශගත වීමට ඉඩකඩ පවතින අතර, 2017 පැවැති පැරණි කාඩර් සීමා නිසා සීමාවාසික පුහුණුව නිමකළ වෛද්‍යවරුන්ට පළමු පත්වීම් ලබාදීමට සිදුවූ කාලය ඉදිරියේදී නව කාඩර් ක්‍රමවේදය හරහා විසඳෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.


