මැලේරියාව එක්ක නම් බොරු බෑ රජෝ!
27 November 2026
මැලේරියාව එක්ක නම් බොරු බෑ රජෝ!
27 November 2026
"මැලේරියා වසංගතයෙන් පළමු සති කීපය තුළ ළමයින් පමණක් 3500ක් මිය ගිහින්" මහාරොග්යශාලාව රෝගීන් ප්‍රමාණය පිළිබඳ තොරතුරු දෙන්නත් බෑ කියලා! ඒ 1935 ජනවාරි 24 දිනමිණ පුවත්පත මැලේරියා වසංගතය පිළිබඳ රටට වාර්තා කළ අයුරුය. මැලේරියාව සුළුකොට නොතැකිය යුතු බව අමුතුවෙන් සඳහන් කළයුතු නැත. 1906, 1911, 1914, 1919, 1928, 1935 යන කාලවලදී මෙම වසංගතය ඉතා දරුණු ලෙස ලංකාවේ වියළි කලාපය ඇතුළු ප්‍රදේශවල පැතිර ගියේය. මෙකී වර්ෂ කෙරෙහි අවධානය යොමු කරන විට අපට පෙනෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු හය, හතකට වරක් මැලේරියාව හිස ඔසවා තිබෙන බවය. එපමණක් නොව එය හැර අපට එළව, එළවා පහර දුන්, ඉතා දරුණු ලෙස ජීවිත හානි කළ වෙනත් වසංගතයක් නොමැත! 1935 වසරේ ජූලි වන විට ලක්ෂයකට අධික පිරිසක් එමගින් මිය ගියහ. ඒ අතර ඉහත සඳහන් කළ පරිදි ළමයි බෙහෙවින් වූහ.
මෙකී ජන සංහාරක වසංගතයට ජනතාව ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් වූයේ මන්දපෝෂණයයි. එකල වාමාංශික නායකයො ජනතාව මන්දපෝෂණයෙන් සහ වසංගතයෙන් නිදහස් කර ගැනීමට එකට එකතු වූහ. ඇන්.ඇම්. පරිප්පු මහත්තයා වූයේත් වාම දේශපාලනය ගැමි ජනතාව අතර ජනප්‍රිය වූයේත් මැලේරියා වසංගතය නිසාය.
රටටක් හැටියට හොඳ හැටි අපි මේ වසංගතයෙන් බැට කා ඇත්තෙමු. එනිසා එයට එරෙහිව දකුණු ආසියානු රටවල් අතර හොඳටම යුද වැදුණු රටකි අපේ රට. එනිසා 2012 වසරෙන් පසු මෙරටින් මැලේරියා වසංගතයට ගොදුරුවූවකු පිළිබඳ තොරතුරු නැතැයි මැලෙරියා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. එමතුද නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ද 2016 වසරේදී සඳහන් කළේ ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් බවය. එය රටක් හැටියට අප ලැබූ සුවිසල් දිනුමක් නොවෙද ?
එහෙත් 2025 වසරේ මැලේරියා රෝගීහු 42ක්ද 2026 දී 39 ක්ද මෙරටින් මතු වූහ. මැඬූ වසංගතය යළි මතු වූයේ කෙසේද? වසංගතය ව්‍යාප්ත කරන මදුරුවා යළි මතු වූයේද? මැලේරියා මර්දන වැඩසටහන සඳහන් කරන පරිදි මෙකී රෝගීහු පිට රටින් වසංගතයට ගොදුරුව පැමිණි අය වෙති. දැන් අප වසංගතත් ආනයනය කරන රටකි! අප මේ වසංගතය මැඬුවද ඉන්දියාව, වැනි රටවල ද අප්‍රිකානු කලාපයේ ද, අග්නිදිග ආසියාවේ රටවලද, දකුණු ඇමරිකානු රටවලද මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන්ව ගොස් නැත.
ලංකාවේ උදවිය ලොව හතර කොනෙහිම ඇවිදිති. සමහරු මැණික් සොයා මොසැම්බික්, මැඩගස්කරය වැනි රටවල ද රිංගති. මෙම රටවල් මැණික් පමණක් නොව මැලේරියා ආකරද වෙයි. මුලින් සඳහන් කළ පරිදි අසල්වැසි ඉන්දියාව ද මැලෙරියා වසංගතයෙන් බැට කයි. එමගින් පෙනෙන්නේ අනතුර අප අත ළඟ සිට අත වනන බව නොවෙද? ඒ අතර ඉන්දියාව සහ සිරිලක අතර පාලමක් ගැන ද හා හූ පැතිරෙයි. හොඳට හිටී! එය මැලේරියා පාලමක් නොවේ යැයි කෙනකුට අනාවැකි පළ කළ හැකි ද? එය කෙතරම් බිහිසුණු ද යත් වසරකට ලක්ෂ හය හත් දෙනකුගෙ ජීවිතවලට වග කියයි.
කේම්බ්‍රිජ්හි පිහිටි Well come Sanger විද්‍යායතනයේ පර්යේෂකයන්ගේ මූලිකත්වයෙන් පරපෝෂිත ජාන පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී මැලේරියාව මාරාන්තික බවට පත්වන්නේ කෙසේදැයි අනාවරණය විය. ඒ සඳහා, පර්යේෂණයට යොදාගත් මැලේරියා පරපෝෂිත විභේදයන්ගේ පරම්පරා ඔස්සේ යමින්, මැලේරියා වර්ග 7 ක අතීතය පිළිබඳ දත්ත රැස් කර ඇත. වසර 50,000 කට පමණ පෙර, එක් "උප විශේෂයක්" මනුෂ්‍ය වර්ගයාට මාරාන්තික වෙමින් මෙම පරපෝෂිතයන් එකිනෙක විභේදනය වී ඇති බව මෙමගින් අනාවරණය විය. මෙම විභේදනයේදී මිනිසාගේ රතු රුධිරානුවලට බලපාන අයුරින් පරපෝෂිත ජාන වෙනස් වීමකට ලක්වී ඇත. මෙම සොයා ගැනීම්, 'ස්වභාවික ක්ෂුද්‍ර ජීව විද්‍යා' (Nature Microbiology) සංග්‍රහයේ ප්‍රසිද්ධියට පත්කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්ෂිකව ලොවපුරා මිලියන 200 ට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැලඳේ. ඒ අනුව 2016 දී මැලේරියාව හේතුවෙන් මිලියන භාගයක් පමණ මියගිය බව එහි වාර්තාවල සඳහන්වේ. මියගිය අයගෙන් බහුතරය වයස අවුරුදු පහට අඩු දරුවෝ වෙති.
ප්ලස්මොඩියම් ෆැල්සිපරම් (Plasmodium falciparum) යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික පරපෝෂිතයාගේ වාහකයා වන්නේ ඇනෝෆිලිස් (Anopheles) මදුරුවාගේ ගැහැනු සතා වේ. මෙකී කරුණු අනුව මැලේරියා වසංගතය යළි හිස එස වුවහොත් අපට සිදුවනුයේ කබලෙන් ළිපට වැටීමටත් වඩා අනතුරකට පත්වීමටය. එනිසා විදෙස් ගතව යළි මෙරටට පැමිණෙන්නන්, විදෙස් සංචාරකයන් ආදීන් පිළිබඳ ඉතාම හෙවිල්ලෙන් සිටිය යුතු බව අවධාරණය කළ යුතුය. ඉහතද අප දැක්වූ පරිදි මැලේරියා වසංගතයට බෙහෙවින් ගොදුරු වනුයේ කුඩා දරුවන්ය. මේ වසංගතය යළි හිස එස වුවහොත් එය අපේ අනාගත පරම්පරාව පිළිබඳ රතු එළිය දැල්වීමක් බව සඳහන් කළ යුතුය. මැලේරියාව වසංගතයක් හැටියට මර්දනය කළද රෝග වාහක මදුරුවා රට තුළ සිටින බව මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහන් කරයි. මෙකී වසංගතයේ තිබෙන බිහිසුණු ලක්ෂණය නම් ඉතා ශීඝ්‍රව වේගයෙන් ව්‍යාප්ත වීමය. එහෙයින් මැලේරියාව යළි මතුවීමේ අවදානම පිළිබඳ ජාතික මට්ටමින් කරුණු සලකා බැලීමට වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා!


