Best News Website award
brand logo
logo
‌හොර දොස්තරලාගෙන් ‘වන් ෂොට්’ ගත් අයට හොඳ බෙහෙත් අල්ලන්නේ නැහැ

‌හොර දොස්තරලාගෙන් ‘වන් ෂොට්’ ගත් අයට හොඳ බෙහෙත් අල්ලන්නේ නැහැ

19 November 2026 | ශිරාන් රණසිංහ


වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් 40,000ක් විසින් රෝගීන්ට ප්‍රමිතියකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාදීම හේතුවෙන් එම තැනැත්තන් රෝහල් ගතවන අවස්ථාවලදී ‌හොර දොස්තරලාගේ නීත්‍යානුකූල වෛද්‍යවරු ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිචාර නොදක්වන තැනට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා​ වෛද්‍ය සංගමය කියා සිටී.


ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැති 40,000ක පමණ පිරිසක් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කරනවා. මේ අය විසින් රෝගීන් සඳහා කිසිඳු විභාගයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනවා.


ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබාගත් අය රෝහල්ගත වන අවස්ථාවලදී නීත්‍යානුකූල වෛද්‍යවරුන් නියමිත මාත්‍රාවන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාදුන්නද ඔවුන්ගේ ශරීරය ඊට ප්‍රතිචාර දක්වන්නේ නැතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩෝ සඳහන් කරයි.


වෛද්‍යවරු ලෙස පෙනී සිටින මෙවැනි අය ප්‍රතිජීවක ඖෂධ පමණක් නොව ‘වන් ෂොට්’ ක්‍රමයට රෝගීන්ට බටහිර ඖෂධ ලබාදීම ඇතුළු ප්‍රතිකාර හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයක් රට තුළ නිර්මාණය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.


විශේෂයෙන්ම මේ රටේ ඇතැමුන් වෛද්‍ය නිර්දේශ ලබානොගෙන හා පෙර කී දොස්තර ටෙස් ගෙන කටයුතු කරන අය හරහා ඔසුසල්වලින් ප්‍රතිජීවක ඖෂධ භාවිතයට හුරුව සිටීම හේතුවෙන් ‘නිව්මෝනියාව’ වැනි රෝග තත්ත්වයන්වලදී එම රෝගීන්ට දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.


මෙවැනි අධි මාත්‍රා සහිත ඇතැම් ඖෂධ මිල අධික බවත් එය සෞඛ්‍ය වියදම් ඉහළයාමටත් හේතු වන බවත් ඔහු කියා සිටියේය.


වෛද්‍යවරු ලෙස පෙනී සිටින මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් සම්බන්ධව වහා ක්‍රියාමාර්ග ගත යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මේ පිළිබඳ සමාජ කතිකාවතක් ඇති කිරීම සඳහා මුල පුරා ඇති බවත් ප්‍රජා විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්නැන්ඩෝ ඊයේ (18 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ශත සංවත්සරය ලබන වසරට යෙදී තිබේ.

 

More News..