brand logo
logo
ස්වර්ණ පුස්තකේට සුදුස්සා කවුද ?

ස්වර්ණ පුස්තකේට සුදුස්සා කවුද ?

26 September 2026 | සුන්දර නිහතමානි ද මැල්

මගේ බිරිඳගේ මුහුණ බැලූ කල මොකක්දෝ අවුලක් ඇති බව මට පෙනී ගියේය.

"අවුලක්ම නෙවෙයි" බිරිඳ මගේ විමසුමට පිළිතුරු වශයෙන් කීවාය. "මේ සැරේ ස්වර්ණ පුස්තක සම්මානෙ දෙන කොට මට මතක් වුණේම අපේ ජනාධිපතිතුමාවනෙ"

එබසින් මට හිනා ගියේය.

"විකාර" මට නිකම්ම කියවුණේය. "ඔයා හිතන්නෙ සම්මාන ප්‍රදානෝත්සවේට කොළඹ නගරාධිපතිතුමිය ගෙන්නන්නෙ නැතුව ජනාධිපතිතුමාව ගෙන්නන්න තිබුණා කියලද?"

බිරිඳ මට ගැස්සුවාය.

"තමුන් රටේ නායකයා වෙච්චි කොට ජනාධිපතිතුමාට ඔය ප්‍රධාන අමුත්තාකම් පංඥංද අනේ" බිරිඳ නොරිස්සුමෙන් කීවාය. "මම කල්පනා කරේ ජනාධිපතිතුමා සාහිත්‍යකරණයට පිවිසුණා නම් ස්වර්ණ පුස්තකේ නෙවෙයි නොබෙල් තෑග්ග වුණත් ගන්න තිබුණ කියල"

ඒ කතාවෙන් මට පුදුම හිතුණේය.

"නෝනා, ස්වර්ණ පුස්තකේ දෙන්නෙ නිර්මාණාත්මක කෘතියකට. කොටින් කියනව නම් ප්‍රබන්ධ කතාවකට "මම බිරිඳට පැහැදිලි කළෙමි. "ජනාධිපතිතුමා ග්‍රන්ථකරණයේ යෙදුණත් ලියනව ඇත්තෙ දේශපාලන විද්‍යාව සම්බන්ධ ශාස්ත්‍රීය පොත් මිසක් ප්‍රබන්ධ කතා නෙවෙයිනෙ"

බිරිඳ හිනාවෙන්නට පටන් ගත්තාය.

"අන්න දැක්කද ජනාධිපතිතුමාගෙ දක්ෂකම" බිරිඳ මට කීවාය. "එතුමා අති ශූර ප්‍රබන්ධකරුවෙක්ය කියල ප්‍රබන්ධ සාහිත්‍යය ඇසුරේ ඉන්න ඕගොල්ලො වගේ අයටවත් තේරෙන්නෙ නැති තරම් හොඳට වැඩේ කරනව"

ඒ කතාවෙන් මට කේන්ති ගියේය.

"කවද්ද ඕයි ජනාධිපතිතුමා ප්‍රබන්ධකරණයේ යෙදුණෙ?" මම අවඥාවෙන් ඇසුවෙමි. "එතුමා හැමවෙලාවෙම කරන්නෙ ශාස්ත්‍රීය කතානෙ"

"රෙද්ද තමයි" බිරිඳ කියා සිටියාය. "ඕක තමුන්ගෙ නොදැනුම මිසක් වෙන මුකුත් නෙවෙයි හලෝ. ජනාධිපතිතුමා හැමවෙලාවෙම ප්‍රබන්ධ කතා ඉදිරිපත් කරන්නෙ ශාස්ත්‍රීය සන්දර්භයකින්. ඉතින් තමුසෙලා වගේ මෝඩයො රැවටෙනවා එතුමා කරන්නෙ ශාස්ත්‍රීය කතා කියල. හැබැයි ඒකෙන් පේන්නෙ ⁣එතුමාගෙ නිර්මාණාත්මක ශූරතාවය මිසක් වෙන දෙයක් නෙවෙයි"

මට මේ පටලැවිල්ල ලිහා ගැනීමට අවශ්‍ය විය.

"දැන් ජනාධිපතිතුමා කවදාවත් ප්‍රබන්ධ හෝ ප්‍රබන්ධ නොවන හෝ ලේඛන කටයුත්තක යෙදිල නෑනෙ. උන්නැහේගෙ තියෙන්නෙ කතාව විතරයිනෙ "මම බිරිඳට කියා සිටියෙමි. "දැන් ඔයා කියන්නෙ එතුමා කතා කර කර ඉන්නෙ නැතුව එව්වා ලිව්ව නම් නොබෙල් තෑග්ග වුණත් ගන්න පුළුවන් ප්‍රබන්ධ රචකයෙක් වෙන්න තිබුණා කියලද?"

බිරිඳ සතුටින් හිස දෙපැත්තට වැනුවාය.

"දැන් ඔය සාහිත්‍ය සම්මාන දෙන්නෙ ප්‍රබන්ධ කතාවක් ඇත්තම කතාවක් විදිහට කියන්න දක්ෂ ලේඛකයන්ටනෙ. ඉතින් ඒවා ඇත්තම විදිහට පිළිගන්න දාස් ගාණක් පාඨකයොත් ඒගොල්ලොන්ට ඉන්නවනෙ "බිරිඳ කියා සිටියාය." ඒ වගේද අපේ ජනාධිපතිතුමාට? එතුමාගෙ කතා ඇත්තම කතා කියල විශ්වාස කරගෙන ජීවත්වෙන මිලියන ගාණක් ඉන්නවනෙ මේ රටේ.

සුන්දර නිහතමානි ද මැල්

 

More News..