brand logo
logo
ජේ.ආර්. නොදනී - මාලිමාව දනී

ජේ.ආර්. නොදනී - මාලිමාව දනී

02 August 2026

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්ද බලයක් තියෙන ආණ්ඩුව හිතන සැටි පුරවැසි ප්‍රජාවට තේරුම් ගන්නට අමාරුය. යුක්ති ධර්මයට ඔබින්නේ නැති සාමාන්‍ය ජනතාවගේ වහරෙන් කීවොත් මොළේ නැති වැඩ කරන්නට තුනෙන් දෙකක බහුතර බලය තිබෙන ආණ්ඩුවකට නිතර සිතේ. එබඳු ආණ්ඩුවල අභිමානය වන්නේ ජනතාවගේ හෘදසාක්ෂිය පාගා දමන්නට පුළුවන්ය කියා පෙන්වීමය. ඕනෑ නම් ඇහැලේපොළ කුමාරිහාමිලා බඳු අම්මලාට තම දරුවන් වංගෙඩියේ ලා කොටනු යැයි නියෝග දෙන්න පුළුවන් අණපනත් ගෙනත් සම්මත කරගන්නටද 2/3 ආණ්ඩුවකට පුළුවන්ය. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවීමට ලැබුණේ 1970 සිරිමාවෝ බණ්ඩාරනායක පිහිටු වූ සමගි පෙරමුණු ආණ්ඩුවටය. පාර්ලිමේන්තුවේ තිබූ ආසන 165න් ආසන එකසිය විසිඑකක් එයට අයිති විය. ඒ ජනවරම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කිරීටයෙන් ගැලවීමට දුන් ජනවරමක් ලෙස අර්ථකථනය කළ කොල්වින් ආර්. ද සිල්වා බ්‍රිතාන්‍ය කිරීටය යටතේ තිබෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත කොළඹ රාජකීය විද්‍යාලයේ ව්‍යවස්ථාදායක සභාවක් කැඳවා ජනරජ ව්‍යවස්ථාවක් සම්මත කරගත්තේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තිබෙන කිරීටයේ ආධිපත්‍යයටද මඟහරින්නට සමත් ආකාරයට 2/3 බලය යොදා ගනිමිනි. කොහොමත් ආණ්ඩුවට එරෙහිව ජ.වි.පෙ. 1971 අප්‍රේල් 05 දා කැරළි ගහද්දී ආණ්ඩුවේ සිටියේ එක පිරිමියයි. ඒ ගැහැනියක් වූ සිරිමාවෝ පමණ යැයි ජනතාව කීවේ තුනෙන් දෙකේ බලයෙන් ගැහැනියකට පිරිමියෙක් කරන වැඩ කරන්නටද පුළුවන් බව පෙන්වමිනි. එකල මැතිනියද සිතුවේ තම බලය අනභිභවනීය බවය.


එහෙත් තුනෙන් දෙකේ මහ බලයක් ලද ඉතිහාසයේ පළමු ආණ්ඩුව 1977 දී පෙරළී ගියේ ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් පැරදුණේ නැති ගාණට හයෙන් පහක බලයක් ප්‍රතිවාදීන්ට දෙමිනි. ආසන 121ක් දිනාගනිමින් තුනෙන් දෙකේ බලයෙන් හැදූ ආණ්ඩුව වසර හතක් ඇතුළතදී ආසන අටට බැස්සේය. තුනෙන් දෙකේ ආණ්ඩුව පරාද කර හයෙන් පහක බලයක් ලද ජේ.ආර්. සමානුපාතික ඡන්ද ක්‍රමයක් ව්‍යවස්ථාවට හඳුන්වා දුන්නේ ඒ ක්‍රමය යටතේ කිසිදු අයකුට තුනෙන් දෙකක ආණ්ඩු බලයක් දිනාගත ​නොහැකි යැයි සිතූ නිසා බව විචාරකයෝ පෙන්වා දෙති. විරුද්ධ පක්ෂයේ මන්ත්‍රින්ට ඕනෑම වේලාවක ආණ්ඩුවට ඒමට හැකිවන ලෙසත් ආණ්ඩුවේ මන්ත්‍රිවරයකු විපක්ෂයට ගියොත් එවෙලේම ආසනය අහිමිවෙන ආකාරයටත් අරුම පුදුම සංශෝධනද ගෙනාවේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කවදාවත් තුනෙන් දෙකේ ආණ්ඩුවක් බිහිනොවෙතැයි සිතාගෙනය.


එහෙත් තිස්වසරක යුද්ධය හමාර කළ මගින්ද සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පළමු වතාවට තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් 2010 දී පිහිටු වූයේය. ජේ.ආර්.වත් නොසිතූ ආකාරයට සමානුපාතික ක්‍රමය යටතේ 2/3 දිනාගත් මහින්ද ද තමාව කවදාවත් පරාද කළ නොහැකි බව සිතුසේය. ජනාධිපති ධුරය දරන අයකුට ජනාධිපතිවරණයකට තරග කළ හැක්කේ දෙවතාවක් පමණයයි යන වගන්තිය ඕනෑම වාරයක් තරග කළ හැකි ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මහින්ද වෙනස් කරගත්තේ ඒ නිසාය.


එහෙත් ඒ තුනෙන් දෙකේ බලය ලැබූ මහින්දගේ ආණ්ඩුව තිබුණේ වසර පහකි. යහපාලනයට ඉඩදී මහින්ද 2015 ගෙදර ගියේ රටම විස්මයට පත් කරමිනි. සමානුපාතික ක්‍රමය යටතේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලද මහින්ද වැනි​ අසමසම දේශපාලන නායකයකු පරාද කිරීමට ලැබීම ගැන යහපාලන ආණ්ඩුවද සිටියේ ආනන්දනීය හැඟීමෙන්ය.


එහෙත් ඒ යහපාලන ආණ්ඩුව වසර හතරක් ඇතුළත පරාද වූයේ ගෝඨාභය රාජපක්ෂට ඉතිහාසයේ ජනාධිපති කෙනකුට දෙන ඉහළම මනාප සංඛ්‍යාව දෙමිනි. එයින් පසු ගෝඨාභය පැවැත් වූ මහ මැතිවරණය නිමා වූයේ 2/3කට ආසන්නම ආසන සංඛ්‍යාවක් ගත් ආණ්ඩුවක් පිහිටුවමිනි. ‘මහා ජාතිය වූ සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයකු බිහිකරන්න බැරි යැයි කියූ රටක මම එය කළ හැකි බව ඔප්පු කළෙමි’යි රුවන්වැලි සෑය අභිමුව ජාතිය අමතන කතාව කරමින් ගෝඨා ද මහාඩම්බරය පෑවේ 2/3ක් ඡන්ද ගත් ආණ්ඩුවක් පළවා හැරීම අසීරුය යන විශ්වාසය නිසාය. එහෙත් ඒ වූ ගෝඨා දෙවසරක අවෑමෙන් ජනාධිපති මන්දිරයෙන් ද පලවා හැරිණ.


එන්න එන්නම 2/3 විස්මයජනක වූයේය. සියයට තුනක ඡන්දයක් ගනිමින් තිබුණ ජ.වි.පෙ. ප්‍රධාන කොට ගත් මාලිමාව වර්තමාන ආණ්ඩුව පිහිටුවූයේ සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ ඉතිහාසයේ ගත් වැඩිම ආසන ගණන වූ ආසන් 159 ක්ම දිනා ගනිමිනි.


සාම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන පක්ෂයක් හවුල් කරගන්නේ නැතිව තනිවම ඉතිහාසයේ වැඩිම ආසන ගණන දිනාගත් ආණ්ඩුවක් ඉතිහාසය දෙන කවර සංඥාවක් වුව නොතකා හැරීම සාධාරණය.


සැබැවින්ම ජේ.ආර්. 1977 පිහිටු වූ ආණ්ඩුව හැර 2/3 ලැබුණ සෑම ආණ්ඩුවක්ම සංධානයක් හවුලක් හෝ පෙරමුණක් වූයේය. එබදු පෙරමුණ, සංවිධාන හවුල්වලින් සෑදුම්ලත් ආණ්ඩු කඩාගෙන යෑමේ ප්‍රශ්න මාලිමා ආණ්ඩුවට නැත.


තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයේදී අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ‘‘අතීතයේ තිබුණ ආණ්ඩුවල වාගේ මුදල් කුට්ටියකට පක්ෂය මාරු කරන අය අපේ ආණ්ඩුවේ නැත. එම නිසා මම බිය නොවෙමි. මම ඉල්ලා අස්වෙන්නේ නැතැ’’යි කීවේය. එය එසේ වන්නේ ඔවුනගේ පාරිශුද්ධභාවය නිසාම නොවේ. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රින්ට ලැබෙන වැටුප බැර වන්නේ ජවිපෙ පක්ෂ අරමුදලටය. එයින් ඔවුන්ට ජීවත්වීමට සරිලන වැටුපක් පක්ෂය විසින් දෙයි. එය රුපියල් ලක්ෂයකට නොවැඩි බව කියැවේ. නිල වාහන, ඉන්ධන දීමනා කාර්යාල, කාර්ය මණ්ඩල ඒ මන්ත්‍රින්ට නොලැබේ. ඒ නිසා ජනතාව අතරට ගොස් වැඩ කර ජනතා නියෝජිතභාවය හදාගැනීමට ඔවුන්ට ඉඩක් නැත. වැටුප්, කාර්ය මණ්ඩල, නිල වාහන නැති නිසා රටට, ගමට තබා ගෙදරටද වැඩක් කර දෙන්නට ඔවුනට බැරිය.


පාර්ලිමේන්තුව ආරම්භ කළ දිනවල ලාල්කාන්ත අමාත්‍යවරයා කීවේ අපේ ඇඟේ අපේම මන්ත්‍රිවරු හැපෙනවා. අපි ඒ අය අපේ මන්ත්‍රිවරු කියලා හඳුනන්නේ නෑ. කොහොම ආවද කියන්න අපිවත් දන්නේ නෑ, පාපිසිත් සභාවට ඇවිත් කියාය. වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නමක් නැති, රුවක් නැති, නාඳුනන තුවක්කුකරුවා වාගේය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තේ ඉන්නා මන්ත්‍රිහු ජනතා නියෝජිතයන්ට වඩා පක්ෂ කාඩර්වරුය. ඡන්දය දුන් දහසකගෙන් තම මන්ත්‍රි කවුදැයි ඇසුවොත් ඔහුගේ නම කියන්න දන්න පුරවැසියන් ඉන්නේ අතළොස්සකි. අතීතයේ මෙන් මේ මන්ත්‍රින්ගේ දොරකඩ පෙත්සම්කරුවෝ, දුක කියන්නෝ ලියුමක් ගන්නට ආවෝ නැත. දිට්වා ආවත්, එල්නිනෝවෙන් රට කරකුට්ටම් වුවත්, වසංගත ආවත්, මහජන නියෝජිතයාගේ රුව ජන මනසේ ඇඳෙන්නේ නැත. එබන්දුන් පක්ෂය මාරු කර විපක්ෂයේ වාඩිවූවාට දන්න කෙනෙක් නැත. ඔවුන් දන්නා එක දෙයක් තිබේ. ඔවුන්ට පක්ෂයෙන් ඈත් වී ස්වාධීනව ජනතාව අතරට ගොස් ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට එන්නට බැරි බවය. එබඳු පිරිසක් ඉන්නා කල කවර බයද? 2/3 ජන වරම ලද ජේ.ආර්. තම බලය රැකගත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් දිනය යොදා නැති ඉල්ලා අස්වීමේ ලියුම් ගෙන තම සාක්කුවේ දාගෙනය. මේ ජේ.ආර්.වත් නොදත් කලාවකි.

 

More News..