brand logo
logo
22 වන සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට පාර්ලිමේන්තුවට

22 වන සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට පාර්ලිමේන්තුවට

21 September 2026


22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් රහසිගත නිගමනය කථානායකවරයා විසින් හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.


ඒ ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයාට ලැබීමෙන් අනතුරුවය.


සුසිල් රණසිංහ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බවය.


22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු මස 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


ඒ අනුව එම පනත් කෙටුම්පත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 65කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබූ අතර, ඒවා සැප්තැම්බර් පළමු වන දා අගවිනිසුරුවරයාගේ සභාපතීත්වයෙන් යුත් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.


සැප්තැම්බර් 2 දා පෙත්සම් විභාගය අවසන් කෙරුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් වන තීරණය කථානායකවරයා වෙත යොමු කරන බවය.


මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය, එළඹෙන 24 සහ 25 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කරනු ලැබීය.

 

More News..